අලි ඇතුන් ඉල්ලා කොහේවත් යන්න ඕනෑ නැහැ : අපේ රටේ ඇති තරම් අලි ඇතුන් ඉන්නවා :
200 ක අලි සංචිතයක් පවත්වා ගෙන යාමට හැකි නම් මාංචු දම්වැල් නොදා අලි ඇතුන් පෙරහැරේ ගෙන යා හැකියි!
සත්ව හිංසන ගැන කතා කරන බොහෝ NGO උත්සාහ කරන්නේ අපේ සංස්කෘතිය විනාශ කරන්නයි!
අස්සයන්ට ලාඩම් ගහලා ඌට ගහමින් උගේ උඩ මිනිහෙක් යන එක ගැන වචනයක් කතා නොකරන NGO කාරයෝ පෙරහැරේ දම්වැල් දාලා ගෙන යන අලි ගැන කතා කිරීම විහිලුවක් : අවංකව සත්ව හිංසනයට එරෙහි NGO වලට ගරු කරනවා!
අලි ඇතුන් වෙනුවට බල්ලෝ හරක් දාලා පෙරහැර තියන්න කියලද මේ අය කියන්නේ :
අලි ඇතුන් නැති පෙරහැර බලන්න එක විදේශිකයෙක් එන්නේ නැහැ :
මෙරට පමණක් නොව ලෝකවාසී ජනතාවගේ ගෞරව ආදරයට පත් වී ඇති මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය ඇතුළු මෙරට ප්‍රධාන පෙරහැර සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය අලි ඇතුන් හිඟයකින් තොරව සැපයීම සදහා රාජ්‍ය අනුග්‍රහහයෙන් අලි සංචිතයක් පවත්වා ගෙන යා යුතු බව මහනුවර ශ්‍රී විශ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ මහින්ද්‍ර රත්වත්තේ මහතා පවසයි .
අවම වශයෙන් අලි ඇතුන් 150 200 කින් යුතුව එම සංචිතය පවත්වා ගෙන යන්නේ නම් දම්වැල් මාංචු දැමීමකින් තොරව පෙරහැර වල අලි ඇතුන් ගෙන යා හැකි බවද ඒ මහතා පවසයි .
වසර තුනකට වරක් සැකසෙන නැකත් අනුව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර හා කතරගම මහා දේවාලයේ පෙරහැර සදහා අලි ඇතුන් යෙදවීමේදී විශාල ගැටලුවකට පෙරහැර සංවිධායකයන් මුහුණ දෙන බව පෙන්වා දෙන රත්වත්තේ මහතා රට පුරා සිටින 75 පමණ වන පෙරහැර වල ගෙන යා හැකි අලි ඇතුන් ලොරිවලින් ප්‍රවාහනය කිරීමට සිදු වන බවත් එසේ ගෙන එන අලි ඇතුන් කෙටි කාලයකින් පෙරහැරට යෙදවීම දුෂ්කර කටයුත්තක් බවද පවසයි .
එවැනි අලි ඇතුන් සංචිතයක් පවත්වා ගෙන යාමට අලි ඇතුන් අවශ්‍ය තරම් මෙරට සිටින බවද විධිමත් අයුරින් එම අලි ඇතුන් අල්ලා සංචිතයට භාර දී පෙරහැර මංගල්‍යය සදහා ක්‍රමානුකූලව පුහුණු කිරීම තුලින් මෙරට සංස්කෘතියත් පෙරහැර චාරිත්‍රාත් මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කළ හැකි බවද රත්වත්තේ මහතා පවසයි .
මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය ඇතුළු මෙරට පෙරහැර මංගල්‍යය ලෝක වාසී ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා . පෙරහැරක් සාර්ථක ලෙස පවත්වන්න අලි ඇතුන් අත්‍යාවශ්‍යයි.අලි ඇතුන් නැති පෙරහැර බලන්න දෙස් විදෙස් ජනතාව එන්නේ නැහැ .රාජ්‍ය අනුග්‍රහය ඇති පෙරහැර මංගල්‍යය සදහා හිඟයකින් තොරව අලි ඇතුන් සැපයීම රජයේ වගකීමක්.මහනුවර ඇසල පෙරහැර අවසානයේ සෑම වසරකම ජනාධිපති වරයා වෙත පිළිගන්වන පෙරහැර සංදේශයේ මේ ඉල්ලීම ඇතුලත් වෙනවා.
අලියකු නඩත්තු කිරීම සදහා මාසයකට රුපියල් ලක්ෂ දෙකක් පමණ වැය වෙනවා.ඒ මුදල් වැය කිරීමට හැකි පන්සල් දේවාල හෝ හිමි කරුවන්ට පමණක් අලි ඇතුන් භාර දිය යුතුයි .දැනටත් පන්සල් වල හා දේවාල වල සිටින අලි ඇතුන් බලා ගැනීම පමණයි ඔවුන් කරන්නේ .අයිතිය තියෙන්නේ රජයට .රජය නිසි පරිදි එම අලිඇතුන් ගැන සොයා බැලිය යුතුයි .කන්දේ විහාරේ ඇතා ගැන රජයේ ආයතන නිසියාකාරව හොයා බැලීමක් කළා නම් අද තායිලන්තය සමඟ ගැටලුවක් මතු වන්නේ නැහැ .සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවංකව වැඩකරන රාජ්‍ය නොවන සංවිධාන වලට බැනලා වැඩක් නැහැ .ඔවුන් මේ වගේ තැන් වලදී මැදිහත් වෙනවා.ඒත් බොහෝ රාජ්‍ය නොවන සංවිධාන කරන්නේ බොරුවක්.ඔවුන් උත්සාහ කරන්නේ අපේ රටේ සංස්කෘතික උරුමයන් විනාශ කරන්න .ඔවුන්ගේ වැඩ හෙලා දකිනවා.
( සරත් සමරනායක )
