විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව එක් ආයතනයකට පමණක් ලබාදීම නිසා වෙළෙඳපොළ ඒකාධිකාරයක් නිර්මාණය වන බවත්, මෙමගින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
කිලෝවොට් 500 දක්වා බලය සහිත විද්‍යුත් වාහන හෝ ප්ලගින සීසී 3000 දක්වා ආනයනය කිරීම සඳහා 100% ක රේගු ගාස්තුවක් පැනවීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ .
මෙහිදී වාහන ගෙන්වීම එක් ආයතනයකට ප්‍රතිලාභය සැලසෙන පරිදි අවස්ථාව සලසාදී තිබෙන බවත්, මෙම විද්‍යුත් වාහන සඳහා පළමු වසර දෙකේදී මෙරට තුළදී අගය එකතු කිරීමක් අවශ්‍ය නොවන බවත්, මෙලෙස එක් ආයතනයකට පමණක් වාහන ආනයනය කිරීමේ අවස්ථාව ලබාදීම නිසා එම ආයතනයට සිය අභිමතය පරිදි වාහන මිල ගණන් ඉහළ දැමීමේ අවස්ථාව හිමිවන බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.
එමෙන්ම එම සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ මහතා පවසන්නේ අදාළ කැබිනට් යෝජනාව අනුමත වුවහොත් දැනට පිරිහෙමින් පවතින වාහන කර්මාන්තයට තවත් දැඩි ලෙස බලපෑමක් එල්ල වන බවත්, මෙලෙස වාහන ආනයනය කිරීම නිසා ජාතික ආදායමට හෝ ආර්ථිකයට අපේක්ෂිත ප්‍රතිඵලයක් අත් නොවන බවත්, තීරුබදු රහිතව වාහන ආනයනය කිරීම නිසා රජයට වාසියක් නොලැබෙන බවත් ය.
එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා ,
“විද්‍යුත් වාහන ආනයනය කරන සමාගමේ නම සහිතවයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ අය මීට පෙරදී ලංකාව තුළ වාහන එකලස් කිරීමට අවසරය ලබාගෙන තිබුණා. දැන් ඒ අය අලුත් මුහුණුවරකින් විද්‍යුත් වාහන ආනයනය කරන්න සූදානම් වෙනවා. කැබිනට් පත්‍රිකාවේ සඳහන් ආකාරයට තීරුබදු රහිතවයි වාහන ආනයනය කෙරෙන්නේ’’
