ලැගුම්හලෙන් හමු වූ පාසල් දැරියගේ ඝාතනය ගැන හෝඩුවාවක් .

කෝපායි , තිරණවේළි ප්‍රදේශයේ ලැගුම්හලක පාසල් දැරියක් මියගොස් සිටියදී සොයා ගත් අතර එම දැරිය මිය ගොස් සිටි ලැගුම්හලේ කාමරයේ තිබී මිත්තණිය විසින් දෙමළ භාෂාවෙන් ලියන ලද ලිපියක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම දැරියගේ මරණය මිත්තණිය විසින් සිදු කළ ඝාතනයක් බවට අනාවරණය වී තිබේ.

” මට මැරෙන්න හිතෙනවා. මම මැරුණොත් මගේ මිනිබිරිය තනි වෙනවා. ඒ නිසා අපි දෙන්නම මැරෙන්න තීරණය කළා. අපේ මරණවලට වෙන කවුරුත් වගකිවයුතු නෑ . ” යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබේ.

කෝපායි ,තිරණවේළි ප්‍රදේශයේ ලැගුම්හලක කාමරයක් තුළ තිබී 12 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් පසුගියදා සොයා ගත් අතර එම කාමරයේම තිබූ අනෙක් ඇඳ මත ඇගේ මිත්තණිය ද සිහිසුන්ව සිටියදී ඇයව ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත ඇතුළත් කරන ලදී .

ඔවුන් දෙදෙනා පසුගිය 9 වැනිදා තිරණවේලි ප්‍රදේශයේ ලැඟුම්හලකට පැමිණ ඇති අතර ඔවුන් රැඳී සිටි කාමරයෙන් දුඟදක් හමන බවට ලැගුම්හල් සේවකයින් විසින් පොලිසියට දැනුම්දී තිබේ. එහිදී කාමරයේ ඇඳක් මත තිබී දැරියගේ මළ සිරුර සොයාගෙන තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ මිත්තණිය විසින් දැරියට නිදි පෙති බීමට සලස්වා ඉන්සියුලින් එන්නතක් ද ලබා දී ඇයව ඝාතනය කර ඇති බවයි. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 63 හැවිරිදි මිත්තණිය පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන අතර කෝපායි පොලීසිය විසින් කාමරයේ තිබී හමු වූ ලිපිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

මියගිය දැරියගේ සිරුර මේ වන විට ඇයගේ පියා වෙත භාර දී තිබෙන බව සඳහන්.

Exit mobile version