බයිට් ආයතනයක් වහන්න අධිකරණ නියෝග.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මුරුක්කු සහ බයිට් වර්ග නිෂ්පාදනය කරන බවට චෝදනා ලැබ තිබූ කටාන, දෙමංහන්දිය ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදන ආයතනයක් වසා දමන ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් දර්ස්ශිමා ප්‍රේමරත්න ඊයේ (05 ) නියෝග කළ බව වාර්තා වේ .

මෙලෙස නියෝග කර ඇත්තේ අදාළ ආයතනය පවත්වාගෙන ගිය අංක 275, කොන්දගම්මුල්ල දෙමංහන්දිය පදිංචි ගැමුණු ශානක නමැත්තකුටය.

මෙම ස්ථානයෙහි කලක සිට සෞඛ්‍ය නීති අනුගමනය නොකර, පරිභෝජනයට නුසුදුසු ලෙස මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන යන බවට කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර අනතුරුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වයි. රත්නායකගේ උපදෙස් මත දෙමංහන්දිය මහජන සෞඛ්‍ය පරීක්ෂක තනුජ් ඉමන්ත විසින් චෝදනා පහක් යටතේ මෙම චූදිතයාට එරෙහිව පැමිණිල්ල ගොනු කර තිබේ .

මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේ චූදිතයාට මෙම නිෂ්පාදන නතර කරන ලෙස අධිකරණයෙන් නියම කර තිබුණ ද ඔහු එය නොතකා දිගටම ආයතනය පවත්වාගෙන ගොස් තිබේ. නඩුව කැඳවූ අවස්ථාවේ චූදිතයා වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලදී .

Exit mobile version