හැටන් සිට ධාවනය වන සමහර බස් රථවල සේවය කරන සමහර කොන්දොස්තරවරුන් මාරු කාසි නොමැති බව පවසමින් බස් මගීන් සූරා කෑමට ලක් කිරිමත් සමග එම බස් මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ බස් මගීන් පිරිසක් පවසනුයේ මෙම ප්‍රදේශයේ ධාවනය කරනු ලබන සමහර පුද්ගලික හා ලංගම බස් රථවල සේවය කරන සමහර කොන්දොස්තරවරුන් මාරු කාසි නොමැති බව පවසමින් තමන් සුරා කෑමට ලක් කරන බවයි.
මෙකී සමහර කොන්දොස්තරවරුන් රුපියල දෙක පමණක් නොව රුපියල් පහ දහය වැනි වටිනාකමින් යුත් මුදල්ද මාරු කාසි නොමැති බව පවසමින් තමන්ට ලබා දිය යුතු ඉතිරි මුදල් නොදෙන බවද එම පිරිස් ප්‍රකාශ කර තිබේ.
තමන් ගෙවිය යුතු බස් ගාස්තු මුදලට රුපියලක් හෝ අඩුවූ විට එයට උරණ වන මෙම බස් කොන්දොස්තරවරුන් තමන්ගෙන් මෙසේ රුපියල දෙක පහ දහය වැනි ඉතිරි මුදල් තමන්ට නොදී වංචා කිරීම සිදු කරන බවයි.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ රුපියල් පහ දහය නොව රුපියල දෙකද තමන්ට වටිනා බවයි.
සමහර කොන්දොස්තරවරුන් මෙසේ මාරු කාසි නොමැති බව පවසමින් තම මුදල් කොල්ලකෑමක් සිදු කළද සමහර කොන්දොස්තරවරුන් මාරු කාසි ලෙස ලබා දිමට නියමිත මුදල් නිසි ලෙස ලබා දෙන බවත් එවන් කොන්දොස්තරවරුන්ට ස්තුතිය පුදකළ යුතු බවත් එම පිරිස් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
