වාහන 133 ක රේගු ලිපිගොනු මිසින්.

විවිධ චෝදනා මත රාජසන්තක කෙරුණු වාහන 435 කින් වාහන 133කට අදාළ රේගු විමර්ශන ලිපි ගොනු අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව වාර්තා වේ .

රාජසන්තක කෙරුණු වාහන සහ බහාලුම් වෙන්දේසි හෝ අපහරණය කරන තෙක් රේගු අධීක්ෂණයේ රඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව පෞද්ගලික ආයතනයකින් ගිවිසුම්ගතව ලබාගත් වර්ග අඩි 18,000 ක අංගනයක මේ වර්ෂයේ ජනවාරි 31 දක්වා වාහන 435ක්ද බහාලුම් 91 ක්ද රඳවා තිබුණ බවත් , විවිධ වාහන 261 ක් සහ බහාලුම් 86 ක් වසර පහකට අධික කාලයක සිට එම භූමියේ රඳවා තිබුණු බවත් එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ .

එමෙන්ම මෙම වාහන සහ බහාලුම් රැඳවීම සඳහා යොදාගත් භූමිය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව ඒ භූමිය අයත් පෞද්ගලික ආයතනයට රුපියල් කෝටි 8 කට ආසන්න වටිනා අධික කුලී මුදලක් ගෙවා ඇති බවත් , වසර පහකට අධික කාලයක සිට ගාල්කර ඇති මෙම වත්කම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොපමාව ගත යුතු බවත් විගණන නිලධාරීන් නිර්දේශ කර තිබේ .

මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Exit mobile version