ශිෂ්‍ය නායකයන්ගෙන් ළමයි තුන් දෙනෙකුට මාරාන්තික ප්‍රහාරයක් – පොලීසිය නිහඬයි – කොළේ වහලා.

මාතලේ කයිකාවල මාධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් පිරිසක් විසින් තවත් ශිෂ්‍යයන් තිදෙනෙකුට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල තත්ත්වයක පැවතියත් රත්තොට පොලිස් ස්ථානය නීතිය ක්‍රියත්මක කර නැති බව වාර්තා වේ.

මෙම මස තුන්වෙනි දින මෙම ප්‍රහාරය එල්ලකර තිබෙන නමුත් ඒ වෙනුවෙන් ගත යුතු කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට පාසලේ වගකිව යුතු කිසිම පුද්ගලයෙක් කටයුතු කර නැත. අඩුම තරමින් මෙම දරුවන් රෝහල්ගත කිරීමටවත් පාසල් පරිපාලනය කටයුතු කර නැති බවටද චෝදනා එල්ල වේ. ගුරුවරුන් හෝ විදුහල්පති විසින් ගත යුතු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

රත්තොට පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ජීවත් වන්නේ පහරදීම සිදුකර තිබෙන ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ නිවස ආසන්නයේ බවත්, මෙම පහර දීම සඟවන්නේ මෙම ස්ථානාධිපතිනිය බවත් චෝදනා එල්ලකර තිබේ.

ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් තවත් ශිෂ්‍ය නායකයන් පිරිසක් එකතුව මෙම පහර දීම සිදුකර තිබේ. ප්‍රධාන ශිෂ්‍ය නායකයා පසුගිය මාර්තු මාසයේදී තවත් සිසුවෙකුට පහර දි තිබෙන අතර එම දරුවාද රෝහල් ගත කර තිබේ. නමුත් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය කටයුතු කර නැත. එසේම මෙම ශිෂ්‍ය නායකයා දිගින් දිගටම දරුවන්ට පහර දී තිබේ.

මෙම ප්‍රධාන ශිෂ්‍ය නායකයා මෙසේ දිගින් දිගටම දරුවන්ට පහර දීම සිදුකර තිබෙන නමුත් විදුහල්පතිවරයා සහ විනය බාර ගුරුවරුන් ඒවා නැවැත්වීමට ගත යුතු ක්‍රියාමාර්ග නොගෙන තිබීමෙන් දරුවන් අතර බද්ධ වෛරයක් ඇතිව තිබේ.

පාසලක පරිපාලනය තිබෙන්නේ පොතේ තිබෙන දේ ඉගැන්වීමට පමණක් නොවේ. ප්‍රධාන ශිෂ්‍ය නායකයා පිළිබදව චෝදනා එල්ලවන මුල් අවස්තාවේම ඒවා නිසි ලෙස විසදීමට පාසල් පරිපාලනය කටයුතු කල යුතුය.

එසේම රත්තොට පොලිසියද කරුණු සගවා කටයුතු කිරීමෙන් ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේද ජීවිතය අවධානමට ලක් කර තිබේ.

දරුවන් අතර ආරවුල් ඇතිවන බව සත්‍යයක් වුවත් මෙවැනි ම්ලේච්ච් ප්‍රහාරයන් එල්ල කරන දරුවන් පාසලක් තුලින් බිහිවීමේ වගකීමද ගත යුත්තේ විදුහල්පති, ගුරුවරුන් සහ දෙමාපියන්ය. එසේම පොලීසිය විසින් සමාජයට අපරාධකරුවන් බිහිකර පලක් නැත. රත්තොට පොලීසිය සහ පාසල් පරිපාලනයද පහර දුන් දරුවන්ගේ දෙමාපියන් විසින් සමාජයට අපරාධකරුවන් බිහිකර තිබේ. ප්‍රධාන ශිෂ්‍ය නායකයාද දැන් අපරාධකරුවෙකි. ඔහුගෙන් පහරකෑමට ලක් වූ දරුවන් අනාගතයේදී සංවිධානය වී ප්‍රධාන ශිෂ්‍ය නායකයාට පහර දීමක් සිදුකල හොත් ඔවුන්ද අපරාධකරුවන් වේ.

දරුවන් නිර්මාණය කල යුත්තේ රටට යහපත් ලෙසය. අපට මේ සියලුම දෙනාම දරුවන්ය. වරද දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ සහ පොලිසියේය. මේවාට වගකිව යුත්තේ ඔවුන්ය. යහපත් දරුවන් සමාජයට ලබා දීමේ වගකීම ඇත්තේ ඔවුන්ටය. පහර දුන් දරුවන් අනාගතයේදී මීටත් වඩා අපරාධකරුවන් බවට පත් වී හිරේ, විලංගුවේ වැටෙන විට ඔවුන්ගේ පසු පස්සේ යාමට සිදුවන්නේ ද මේ දෙමාපියන්ටය. එබැවින් තරුණ ජීවිත සමග සෙල්ලම් කිරීමට පෙර වගකිව යුත්තෝ සිතිය යුත්තේ ඔවුන්ගේ හෙට දවස ගැන පමණි.

Exit mobile version