ළමා මවගේ දරු ප්‍රසූතිය දොස්තර හංගලා.

පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක දරුවෙකු ප්‍රසූත කිරීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී එය සැඟවීමට කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම බාලවයස්කාර දැරිය ගැබ්ගෙන ඇත්තේ වයස අවුරුදු 14 දීය.

බිහිකළ දරුවා අඩුබර දරුවකු බැවින් කිසියම් සංකූලතාවක් හේතුවෙන් රෝහලේ ළමා ඒකකයට යොමුකර ඇත්තේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසිනි.

නේවාසිකව ප්‍රතිකාර ලබන බිළිඳා සමඟ රෝහලේ නැවතී සිටි දැරිය බාලවයස්කාරියක බව දැනගත් රෝහල් වාට්ටුවේ කාර්ය මණ්ඩලය එම දැරිය පිළිබඳ නීත්‍යනුකූලව කටයුතු කිරීමට රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට දැනුම්දී තිබේ.

ළමා මව ප්‍රතිකාර සඳහා යොමුකරන ලද විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයා වාට්ටුවට පැමිණ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කරමින් පවසා ඇත්තේ ඇය තමන්ගේ රෝගියෙකු බවත්, ඇය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීම අනවශ්‍ය බවත් ය.

ඒ බව පවසා ඉකුත් 26 වැනිදා මෙම ළමා මව බලහත්කාරයෙන් වාට්ටුවෙන් ඉවත්කරගෙන ගොස් ඇත.

ඇය සහ බිළිඳා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ හෙද නිලධාරී නිලධාරිනියන් පවසන්නේ ළමා මව බලහත්කාරයෙන් රැගෙන ගිය විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයා සිදුකර ඇත්තේ සිදුව ඇති අපරාධමය වරදක් සැඟවීම බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උදේෂ් රංගගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ළමා වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි අලුත උපන් බිළිඳකු සහ ළමා මවක වෙනත් වාට්ටුවක විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවයි.

එම ළමා මව සම්බන්ධයෙන් රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට කලින්ම දැනුම් දී තිබූ බවත්, පසුව ඊයේ (28) ළමා ආරක්ෂණ අධිකාරියට මෙන්ම ළමා මව පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත ද මේ බව දැනුම් දුන් බවට අධ්‍යක්ෂවරයා පවසයි.

Exit mobile version