වයස අවුරුදු 13 සහ 12ක පාසල් සිසුන් දෙදෙනෙකුගේ සැකය නිසා තුර්කි ජාතික තරුණියකගේ මුදල් බෑගය කොල්ලකා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු අද (26) දින විනාඩි 45 ක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වාර්තා වේ.
තුර්කියේ සිට මෙරටට පැමිණි 22 හැවිරිදි තරුණියක් සිගිරිය ප්‍රදේශයේ ලැගුම්හලක නැවතී අද 26 දින උදෑසන සීගිරි පව්ව නැඟ නැවත ලැගුම්හලට ගමන් කරමින් සිටියියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඇය සතුව තිබූ මුදල් පසුම්බිය පැහැරගෙන තරුණියට ද පහර දී පලාගොස් ඇති බවට සීගිරිය පොලීසිය පවසයි.
කොල්ලකරුවන්ගේ පහරකෑමට සහ ඔවුන් සමඟ පොර බැඳීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් මෙරටට පැමිණි සංචාරක තරුණිය ප්‍රතිකාර සඳහා මේ වන විට සීගිරිය රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බවට සීගිරිය පොලිසිය පවසයි.
අධික වේගයෙන් එම මාර්ගයේ පලා ගිය යතුරුපැදිකරුවන් මද දුරක් යද්දී පාසල් මිතුරන් දෙදෙනකු
සෙල්ලම් කරමින් සිට ඇති අතර කලබලයකින් යුතුව ධාවනය වන මෙම යතුරුපැදිකරුවන් පිළිබඳව සැකයක් මතුවී මිතුරන් දෙදෙනා එම යතුරුපැදියේ අංකය සටහන් කර ගෙන තිබේ.
පසුව මෙම දරුවන් දෙදෙනා වහාම ඒ බව නිවැසියන්ට දැනුම් දෙන්නට දිව එද්දී එම ස්ථානයේ විදෙස් කාන්තාවගේ මුදල් පසුම්බිය රැගෙන ගොස් ඇති බව දැනගෙන වහාම හෝටල් හිමි කාන්තාවට ඒ බව දැනුම් දී ඇති බවට පොලිසිය පවසයි.
පසුව ඇය සීගිරිය පොලීසියට මේ බව දැනුම් දීමෙන් සීගිරිය පොලීසියේ නිලධාරින් යුහුසුළුව එම ස්ථානයට පැමිණ කුඩා යහළුවන් දෙදෙනාගෙන් ලබාගත් තොරතුරු සමග විනාඩි 45 ක් ඇතුළත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.
