අල්ලස් ගත්තා යැයි කියූ දිල්රුක්ෂි නිදහස් වුණාට කරූ සතුටින් – කතානායකට කියයි.

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් සාධාරණ සාමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම මාධ්‍ය නිවේදනය පහතින් ,


අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට යුක්තිය ඉටුවන ආකාරයක් පෙනෙන්නට තිබීම සතුටට කරුණකි.

හඬපටයක් උපයෝගී කරගනිමින් එල්ලකර තිබූ චෝදනාවක් හේතුවෙන් වැඩ තහනමකට ලක්ව සිටි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනාරාල්වරියක වූ ජනාධිපති නීතීඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට කාලයක් ගතවීමෙන් පසුව හෝ යුක්තිය ඉටුවන ආකාරයක් පෙනෙන්නට තිබීම පිළිබඳව අප අපගේ ප්‍රසාදය පළකරන්නෙමු.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නගාතිබූ චෝදනා විමර්ශනය කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එකී චෝදනාවන්ගෙන් නිදොස්කොට නිදහස් කරන්නට තීරණය කර තිබීම අප සලකන්නේ සිය හෘද සාක්ෂියට අනුගතව නීතිය ක්‍රියාකරන්නට කටයුතු කරන අප රටේ රාජ්‍ය නිළධාරීන්ට කළ දිරිගැන්වීමක් ලෙසටය.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නගාතිබූ චෝදනා සැලකීමේදී ඇතැම් කූට බලවේගයන් අතීතයේදී රටතුළ ගොඩනගාගෙන තිබූ අසීමිත බලය තේරුම්ගත හැකිය.

එමෙන්ම රටේ ප්‍රමුඛ කොමිෂන් සභාවන්හි ස්වාධීනත්වය අහිමි කරන්නට කටයුතු කර තිබීම තුළ එවැනි බලවේගයන් සක්‍රීය වූ ආකාරය ද මැනවින් වටහා ගත හැකිය. එමෙන්ම ව්‍යාජ චෝදනා මත ඇයට හිමි විය යුතුව තිබූ උසස් වීම වැළැක්වීම පාපතර ක්‍රියාවකි.

ඒ අනුව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට අදාළව ලබා දී ඇති මෙම තීන්දුව සැලකීමේදී ස්වාධින කොමිෂන් සභා වෙතින් රටේ ජනතාව අපේක්ෂා කරන ලද යුක්තිසහගත ක්‍රියාකාරිත්වය යළි තහවුරු කරන ලද අවස්ථාවක් ලෙස එය සැලකිය හැකිය. අප එය සලකන්නේ යහපත් තත්වයක් ලෙසටය.

මෙම කරුණට පාදක වූ සිදුවීම දෙස අවධානය යොමුකිරීමේදී රටේ ඇතැම් දුෂ්ඨ බලවේගයන්හි සාහසික උත්සාහයන්හි ස්වභාවයද තේරුම් ගත හැකිය. එවැනි තත්වයන් අප රට තුළ යළි සිදු නොවීමට වගබලාගැනීම රටේ වගකිව යුතු සෑම පාර්ශවයකම වගකීමකි. එමෙන්ම එවැනි ක්‍රියාකාරිත්වයන් හේතුවෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට සිදුව ඇති බලවත් අගතිය සැලකිල්ල්ට ගනිමින් ඇයට තවදුරටත් යුක්තිය ඉටුකිරීම අදාළ ආයතනයන්හි වගකීම වන බව ද අප අවධාරණය කරන්නෙමු.

එමෙන්ම තවමත් පත් නොවුණු කොමිෂන් සභා ඉතා ඉක්මනින් පත්කර ගන්නා ලෙස ගරු කථානායක තුමා සහ ව්‍යවස්ථා සභාවේ ගරු සාමාජිකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.
2023.08.11

Exit mobile version