දරුවන්ගේ ඇස් රතු වෙලානම් ඉස්කෝලේ යවන්න එපා.

ශ්වසන මාර්ගයේ ආසාදන ඇතිවීමත් සමග කුඩා ළමුන් අතර අක්ෂි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවට රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හිරන්‍ය අබේසේකර ප්‍රකාශ කළ බව වාර්තා වේ.

පසුගිය සතිය තුළ කොළඹ ප්‍රදේශයේ පාසල් කිහිපයක ළමුන් අතර අක්ෂි රෝගය ව්‍යාප්ත වී තිබේ.

ඊයේ (12) අක්ෂි රෝහලේ ලෝක දෘෂ්ටි දිනයට සමගාමීව පැවති සම්මන්ත්‍රණයකදී වෛද්‍යවරයාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව අනාවරණය කර තිබේ.

සාමාන්‍යයෙන් කුඩා දරුවන් හට අක්ෂි රෝග ව්‍යාප්ත වන්නේ ශ්වසන මාර්ගයේ ඇතිවන ආසාදන සමග වන නිසා බවත් දින තුනකට වඩා රෝගය පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් හෙතෙම සඳහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ ඇස් රතු පැහැ ගැන්වී ඇත්නම්, ඇසෙන් කබ වැඩි ප්‍රමාණයක් එන්නේ නම් දෙමාපියන් ඒ පිළිබඳ අවධානය යොමු කොට දරුවන් පාසල් නොයවා ගෙදර තබා ගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි.

තවදුරටත් ඔහු සදහන් කරන්නේ පාසලක මෙවැනි රෝග ලක්ෂණ සහිත දරුවකු සිටීනම් වහාම අනෙක් දරුවන්ගෙන් රෝගී වූ දරුවා වෙන් කිරීම වැදගත් බවයි.

එසේම මෙම අක්ෂි රෝගය සඳහා අනියත බියක් ඇති කර නොගන්නා ලෙසද වෛද්‍යවරු දෙමාපියන්ට දැනුම් දී තිබේ.

Exit mobile version