මෑත කාලීනව රෝහල් තුළ සිදුවූ මත්භේදයට තුඩු දුන් මරණ 06යෙන් 5 කට බොහෝ දුරට හේතු විය හැක්කේ ඖෂධ ආසාත්මිකතාවන් බව ඒ පිළිබඳ සෙවීමට පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව අදාළ සිදුවීම පිළිබඳව ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
නමුත් වෛද්‍ය හා රෝගී රහස්‍යභාවය රැකගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් එම සම්පූර්ණ වාර්තාව ප්‍රකාශයට පත් නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර තිබේ .
මෙලෙස ඉදිරිපත් කරන ලද විශේෂඥ වාර්තාව මඟින් නිර්දේශ 12ක් නිකුත් කර තිබෙන අතර ජීවිත අවදානම් සහිත ආසාත්මිකතා කළමනාකරණය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීම සහ ඊට අදාළ යාන්ත්‍රණයක් සකස් කිරීම, ජීවිත තර්ජනයක් සහිත සිදුවීම් වාර්තා වූ අවස්ථාවන්හිදී නිසි සායනික විගණනයක් සිදුකිරීම, ඖෂධ ලියාපදිංචියේදී සහ අලෙවිකරණයෙන් පසුව අහඹු නියදි පරීක්ෂාවන් මඟින් රට තුළ භාවිත ඖෂධවල ගුණාත්මකභාවය රැකගැනීමට කටයුතු කිරීම ඇතුළු නිර්දේශ එම වාර්තාවට ඇතුළත් වන බව වාර්තා වේ .
ඒ අනුව අදාළ විශේෂඥ කමිටු වාර්තාවේ නිගමනය වී ඇත්තේ කමිටුවේ අවධානය යොමු වූ මරණ 06යෙන් 5 කට හේතු වී ඇත්තේ ඖෂධ ආසාත්මිකතාවන් බවත් , අසාත්මිකතාවන්ට හේතුවූ ඖෂධ සම්බන්ධ තත්ත්ව පරීක්ෂණ වාර්තාද නොතිබූ බවත් ය.
මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා,
“මේවා සාකච්ඡා විය යුතු කාරණා. මේවා දේශපාලනික කාරණා නෙමෙයි. මේවා ආණ්ඩු පෙරළන කාරණා නෙමෙයි. සෞඛ්‍ය සේවාව තවදුරටත් තියෙන තත්ත්වයෙන් දියුණු කරන්න උත්සාහ කරන කාරණා. ඒ නිසා අපි කියනවා ඖෂධ සඳහා පත්කරපු කමිටුව පිළිබඳව ජනතාව දෑස් දල්වාගෙන බලාගෙන හිටියා. ඒ බලගෙන හිටියට අපි නම් මුල ඉඳලම දන්නවා මේ කමිටුවට දීලා තියෙන වගකීම රටේ ඖෂධ ප්‍රශ්නයවත්, රටේ සෞඛ්‍ය ප්‍රශ්නයවත් නෙමෙයි. ඔවුන්ට ලබාදීලා තියෙන්නේ රටේ සෞඛ්‍ය ප්‍රශ්නයෙන් 1%ක් පමණ වන ඖෂධ ප්‍රශ්නය. එයිනුත් 1%ක් පමණ වන ආසාත්මිකතා ප්‍රශ්නය ගැන විතරයි අධ්‍යයනය කරන්න දීලා තියෙන්නේ. මහජනතාව වෙනුවෙන් පත්කළ කමිටු වාර්තාව මහජනතාවට වහාම ඉදිරිපත් කරන්න.”
