මස් මාංශ අනුභවය පරිස්සමින් .

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතැම් පිරිස් වසවිස මිශ්‍රකර සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇති බවට එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.

එවැනි මාංශ ආහාරයට ගැනීම ජීවිත අවදානමකට ලක්කර ගැනීමක් බවද ඔහු සඳහන් කර තිබේ.

“මේ වියළි කාලගුණ තත්ත්වයක් එක්කම විශේෂයෙන් විල්පත්තුව, යාල, උඩවලව වැනි සංරක්ෂිත අභය භූමි සහ වනාන්තර ආශ්‍රිත වන සතුන්ට පානය කිරීමට ජලය ඉතාම හිඟයි. ඉතා කුඩා ස්ථානවල තමයි ජලය රැඳිලා තියෙන්නේ. මේ ස්ථානවලට වසවිස මිශ්‍රකරලා සහා ගිනි තැබීම් කරලා මේ වනසතුන් ඝාතනය කරන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඝාතනය කරන වනසතුන් මස්, දඩ මස් ලෙස සංචාරකයින්ට සහ අසල්වාසි ප්‍රදේශවල, විශේෂයෙන් මාතර හම්බන්තොට, පුත්තලම, අනුරාධපුරය, මඩකලපුව සහ පොළොන්නරුව වගේ ප්‍රදේශවල යන සංචාරකයින්ට දඩ මස් ලෙස අලෙවි කරනවා. විශේෂයෙන්ම මෙවැනි වසවිස යොදා ඝාතනය කරන සතුන්ගේ මස් අනුභව කිරීමෙන් ක්ෂණිකව මරණය ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම යම් ශාරීරික ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දිර්ඝ කාලීන ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ නොදන්නා ප්‍රදේශවලට ගිහිල්ලා දඩ මස් ආහාරට ගැනීමෙන් වළකින්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

Exit mobile version