රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල කඩා වැටිමක් සහ ව්‍යවසනයක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොලඹදී පැවසීය.
තිස් වසරක ත්‍රස්තවාදය මුලින් උපුටා දැමූ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට ත්‍රස්තවාදයක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
රටේ විවිධ ක්ෂේත්‍රවල පවතින ගැටලු සොයා බලා විසඳුම් ලබාදීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටුවක් ස්ථාපිත කිරීම සදහා රැස්වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවැසීය .
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම කමිටුව හරහා විවිධ ක්ශේත්‍රවල ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ කමිටු කාමර 8දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස් වූ අතර රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, සිවිල් අයිතිවාසිකම් සදහා වූ වෛද්‍ය වෘතිකයන්ගේ සංගමය,සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනය යනාදිය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ඊට එක්ව සිටියහ.
බංකොලොත් රටේ ලක්ෂ 220ක්වූ ජනතාවගේ කරපිටින් මූල්‍ය නාස්තිය, වංචාව, හොරකම, අක්‍රමිකතාව, ගුණාත්මකභාවයෙන් අඩු සහ බාල බෙහෙත්, වෛද්‍ය උපකරණ ගෙන්වීම මෙන් ම රටට තොරතුරු සැගවීම, රාජ්‍ය මර්දනය, රාජ්‍ය ත්‍රස්තවාදය ආදී සියලු උපක්‍රම උපයෝගී කර ගෙන නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය විනාශ කරන වැඩපිළිවෙළක රජය නිරත වන බවත් විපක්ෂනායකවරයා එහිදී කීවේය.
( සරත් සමරනායක )
