පොලිස් අණ නොතකා ගිය මෝටර් රථයේ පුපුරණ ද්‍රව්‍ය.

ඊයේ (18) පොලිස් අණ නොතකා පලා ගිය මෝටර් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය සහ කැනීම් උපකරණ තොගයක් සොයා ගෙන ඇති අතර සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.

ඊයේ (18) රාත්‍රී 8.30 ට පමණ මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ මෝටර් රථයකට එය නවතන ලෙස රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් විසින් අණ කළද පොලිස් අණ නොතකා එය ධාවනය කර තිබේ. රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් විසින් අදාළ මෝටර් රථය පසුපස හඹා ගොස් මාවතගම නගරයේ දී නවතා ගැනීමට සමත්ව තිබේ. මෝටර් රථයේ රියදුරුව අත් අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ඊට විරෝධය පළ කර ඇති අතර මෝටර් රථයේ සිටි තවත් දෙදෙනෙකු ඉන් බැස පලා ගොස් තිබේ. අනතුරුව මෝටර් රථයේ රියදුරුව අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සහ කැනීම් උපකරණ සොයා ගෙන තිබේ.

මෝටර් රථය තුළ තිබී ජෙලිග්නයිට් කූරක් , ඩෙටනෙර්ටර් 9ක් , විද්‍යුත් විදින යන්ත්‍ර 2ක් , ඇමෝනියා කිලෝ ග්‍රෑම් 1 ක් , විදුලි ගල් විදින යන්ත්‍රයක් , අලවංගු 3ක් , කඩුවක් , පිහියක් , යවුල් 2ක් , උදලු 2 ක් , මිටි ගල් විදින කටු 3ක් , විදුලිය ලබා ගන්නා අඩි 100 ක් පමණ දිග වයර් කැබලි 3 ක් සොයා ගත් බව සදහන් වේ.

සැකකාර රියදුරා දඹදෙණිය , සිරිගල පදිංචිකරුවෙක් වන අතර පලා ගිය අනෙක් සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version