ගැහැණු ළමයි හතර දෙනෙක් ලංගම බස් රථයෙන් එළියට දාලා – සීසන් දැක්කම කොන්දොස්තරවරුන්ට ඇලජික්.

ඊයේ (11) සවස 4.45 ට පමණ ඇඹිලිපිටිය ප්‍රධාන බස් නැවතුම්පොළෙන් ඇඹිලිපිටිය යොවුන් සේනාංකයේ ඉගෙනුම ලබන සිසුවියන් සිව් දෙනෙක් තම අධ්‍යාපන කටයුතු නිම වී නැවත නිවසට පැමිණීම සඳහා බලංගොඩ ඩිපෝවට අයත් පඹහින්න – බලංගොඩ – පල්ලෙබැද්ද හරහා ඇඹිලිපිටිය දක්වා ගමන් කරන බස් රථයට ගොඩ වීමට සැරසීමේදී එම බස් රථයේ කොන්දොස්තරවරයා විසින් එම සිසුවියන් සිව් දෙනාව බස් රථයට නංවා ගැනීම ප්‍රතික්ෂේප කරමින් එක් සිසුවියක්ව බස් රථයෙන් එළියට ඇද දමා තිබේ.

එලෙස එක් සිසුවියක්ව බස් රථයෙන් එළියට ඇද දමමින් එම සිසුවිය ඇතුළු අනෙක් සිසුවියන් සිව්දෙනාව බස් රථයට නංවා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ” සීසන් තියන අයව එක්කන් යන්නේ නෑ ” යැයි පවසමිනි. මෙම අවස්ථාව පමණක් නොව මීට පෙර අවස්ථා ගණනාවකදීම අදාළ බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරා විසින් මෙම සිසුවියන් සිව්දෙනා වරින් වර හෑල්ලුවට ලක් කරමින් අපහසුතාවයට පත් කර තිබේ .

මෙලෙස අසාධාරණයට පත් වූ සිසුවියන් ප්‍රකාශ කරන්නේ ලංගම බස් රථයෙන් පැමිණීම සඳහා ඔවුන් මිලදී ගෙන ඇත්තේ ළමා මාසික වාර ප්‍රවේශ පත්‍රය නොව වැඩිහිටි මාසික ප්‍රවේශ පත්‍රය බවයි. නමුත් මෙම සිසුවියන් සිව්දෙනාම අවුරුදු දහඅටෙන් පහළ වයස්වල පසුවන්නන් ය .

මහජනයාගේ මුදලින් වැටුප් ලබන ලංගම බස්රථ කොන්දොස්තරවරුන් සහ රියදුරන් මෙවැනි අසාධාරණකම් කරද්දී එදා වේල කෙසේ හෝ සපයා ගැනීමට වෙර දරණ පෞද්ගලික බස්රථයක කොන්දොස්තරවරයෙකු සහ රියදුරෙකු මෙම සිසුවියන් සිව්දෙනා මුදල් නොමැතිව තම බස් රථයට නංවාගෙන ඔවුන් රැගෙන යාමට කටයුතු කර තිබේ . කිහිප අවස්ථාවකදීම මුදල් නොමැතිව පෞද්ගලික බස්රථවලින් මොවුන් රැගෙන ඒමට කටයුතු කර තිබේ.

මේ පිළිබඳව ගොඩකවෙල පොලිසියේ තුළ පැමිණිල්ලක් ද යෙදීමට මෙම දරුවන් කටයුතු කර තිබේ . අප ඒ පිළිබඳව ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති එන්. ආර්. විජේසිරි මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ CIB 332/71 දරණ එම පැමිණිල්ල භාර ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා සිද්ධිය වූ ඇඹිලිපිටියට අයත් ඇඹිලිපිටිය පොලිසිය වෙත යොමු කළ බවයි .

මෙසේ බස් කොන්දොස්තරවරයාගෙන් සහ රියදුරාගෙන් පීඩාවට ලක්ව සිටින්නේ ආර් .කේ. සෙනුරි සන්ජානා, එච් .කාවින්ද්‍යා සත්සරනි, ඩබ්ලිව් .
ඩබ්ලිව්. එස්. නේහා දෙව්මිනි සහ ඕ.බී ඉමාශා සෙනාලි යන පල්ලෙබැද්ද, කොස්වැටිය සහ සංඛපාල ප්‍රදේශවල පදිංචි 17 හැවිරිදි වියේ පසුවන යොවුන් සේනාංකයේ පුහුණුවකට යන තවමත් පාසල් යන දරුවන් වේ.

මෙම සිද්ධියට අවශ්‍ය පරීක්ෂණ පවත්වා යුක්තිය ඉටුකර දෙන මෙන් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට මැදිහත් වූ ගොඩකවෙල පොලිස් ස්ථානාධිපතිවරයාට සහ තමන් අසාධාරණයට පත්වූ අවස්ථාවේදී මුදල් නොමැතිව පෞද්ගලික බස් රථයෙන් රැගෙන ඒමට කටයුතු කළ ආදාළ කොන්දොස්තරවරයාට සහ රියදුරාට තම තුති පුද කරන බවයි.

මීට අදාළ වීඩියෝව පහතින් ,

Exit mobile version