ගාමන්ට් වැසෙයි – දහස් ගණනක් එළියට.

වසර 35ක් පැරණි වත්තල ප්‍රදේශයේ පිහිටි “ ඇක්වා පැකේජින් “ ආයතනය වසා දමා ඇති බව වාර්තා වේ.

සේවකයන් විශාල ප්‍රමාණයකට රැකියා සැපයූ මෙම කර්මාන්තශාලාව වසා දැමීම සම්බන්ධයෙන් විමසිමේදී ආයතන පාලනාධිකාරිය ඊට හේතු දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඇතැම් අය පවසන්නේ නිෂ්පාදන පිරිවැය අනපේක්ෂිත ලෙස ඉහළ යාම මෙම ක්ෂේත්‍රයට තදින්ම බලපා ඇති බවයි.

මීට අමතරව වසර 36 කට ආසන්න කාලයක් මෙරට විශාලතම ඇඟලුම් අපනයන සමාගමක් ලෙස සැලකූ “ මාස් හෝල්ඩිංග්ස් “ සමූහයට අයත් මිහින්තලේ ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලා දෙකක් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ තීන්දුවත් සමඟම එහි සේවය කළ දහසකට ආසන්න පිරිසකගේ රැකියා අහිමි වන අතර එහි බලධාරීන් , සේවකයන් දැනුවත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ඇඟලුම් කර්මාන්තශාලා මාස 4 කට තාවකාලිකව වසා දමන බවයි. එමෙන්ම ඇතැම් වාර්තා සඳහන් කරන ආකාරයට අදාළ මාස 4ට  සේවකයන් වෙත වැටුප් ගෙවන බවට ආයතන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඇඟලුම් නිෂ්පාදකයන් සඳහන් කර ඇත්තේ ඇඟලුම් නිෂ්පාදන වෙනුවෙන් සුපුරුදු පරිදි ඇණවුම් නොලැබීම මෙලෙස කර්මාන්තශාලා තාවකාලිකව වසා දැමීමට හේතු වී ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය නිසා පැනනැගී ඇති ඩොලරයේ අස්ථාවරභාවය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට සෘජුව බලපා ඇති බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ  කර තිබේ.

 මෙම ආයතන වසා දමන්නේ ඒවා සඳහා ලැබෙන ඇණවුම්වල අඩුවක් නිසා නොව ලංකාවේ විදුලිය ඇතුළු සේවාවන්වල මිල ඉහළ යාම නිසාත් , ලංකාවේ ඇඟලුම් නිෂ්පාදනය කිරීමේ පිරිවැය ඉහළ යාම නිසාත් බව ඇතැම්හු ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව නිෂ්පාදකයන් ලංකාවෙන් පිට පිරිවැය අඩු ඔවුන්ගේම කාර්මාන්තශාලා වෙත අදාළ ඇණවුම් ලබාගනිමින් පාඩු ලබන ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා වසා දැමීමට කටයුතු කරන බව ද වාර්තා වේ.

ලංකාවේ ඇඟලුම් නිෂ්පාදනයේ නියැලී සිටින “ මාස් හෝල්ඩින්ග්ස් “ යනු දකුණු ආසියාවේ විශාලතම යට ඇදුම් නිෂ්පාදකයා වන අතර  1987 වර්ෂයේ දී මහේෂ් , ෂේරාඩ් සහ අජේ අමලීන් විසින් ආරම්භ කරන ලදී.  ඒ අනුව එහි නම වූයේ සහෝදරයන් තිදෙනාගේ මුලකුරු වලින් ලබා ගන්නා ලද “මාස්” ය .  “මාස් හෝල්ඩිග්න්ස්” රටවල් 17 ක නිෂ්පාදන පහසුකම් 53ක් ඇති ගෝලීය වශයෙන් 93,000 කට අධික පිරිසක් සේවය කරන ආයතන සමූහයකි.

Exit mobile version