වතු කම්කරුවන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් ගත වීම සැමරීමට විවිධ පිරිස් කටයුතු කරන බවත් , මෙය සැමරීම සම්බන්ධයෙන් ස්තුතිය පුදකළ යුතු බවත් , එහෙත් මේ ඉඩම් ලබා ගැනීම මෙයට වසර විසි පහකට තිහකට පෙර සිදු කළා නම් මේ වන විට මෙය විසඳීමට ඉඩ තිබු බවත් සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක සංගමයේ නායක ඉලංගෝ ගාන්ධි මහතා හැටන් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ කාර්‍යාලයේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
වැඩිදුරටත් අදහස් දැක්වූ ඉලංගො ගාන්ධි මහතා ,
” මෙය පමාවීම පිළිබඳව වතුකරයේ සමහර ප්‍රබල වෘත්තිය සමිති මෙන්ම වතුකම්කරුවන් නියෝජනය කරමින් බලය ලබා ගත් සමහර දේශපාකයන් වග කිව යුතුයි . එමෙන්ම මේ වතු ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳන විට එය වෘත්තිය සමිති පක්ෂ පාටවලින් තොරව කළ යුතුයි . එමෙන්ම අද වතු කම්කරුවන්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ජීවත් වීමට සරිලන වැටුපක් නොමැති වීම. අද සමහර වතු කම්කරුවන්ට රුපියල් දහසේ දෛනික වැටුපවත් නිසි ලෙස ලැබෙන්නේ නැහැ . අපි අවුරුදු 200 පිළිබඳව පුරසාරම් දොඩනවා. එත් මේ වතු කම්කරුවන් තුන් වේල කන්න නැතිව දුක් විදිනවා. “
” අද සමහර අය වතු කම්කරු දෛනික වැටුප රුපියල් 3000ක් කළ යුතු බව කියනවා . මයික් අල්ලන විට ඕනැම දෙයක් කියන්න පුලුවන්. එත් මෙය කරන්න පුලුවන් දෙයක්ද කියලා මුලින් සොයා බැලිය යුතුයි. මොකද වැඩි කළ රුපියල් 1000 වත් නිසි ලෙස අදටත් නොලැබෙන විට මේ රුපියල් 3000 දෛනික වැටුප් ගැන මොන කතාද. “
” එමෙන්ම මේ වන විට වතුවල තේ වගාවන්ද අඩාල වෙමින් පවතිනවා . එවන් තත්වයන් මත තව අවුරුදු දහයක් පහළොවක් යන විට මෙම තේ වගාව විනාශ වී අපිට පිටරටින් තේ කුඩු ගෙන්වන්න වෙයිද කියන්න බැහැ . එම නිසා මේ පිළිබඳව අවඅවධානය යොමු කර තේ වගාව රැක ගැනිමට පියවර ගත යුතුයි . මොකද මේ තේ වගාව නැති වුනොත් වතුකර ජනතාව ගැන කතා කරලා වැඩක් නැහැ. “
” අද වතුකරයේ සියයට තිහක් පමණ පිරිසක් තමයි වතුවල සේවය කරන්නේ. මෙය ඉදිරියේදි තවත් අඩු වෙන්නත් පුලුවන් එවිට මේ තේ වගාවට මොකද වෙන්නේ. මේ පිළිබඳවත් අපි සියලුම දෙනා අවධානය ක් යොමු කළ යුතුයි. “
