මේ ඡායාරූපයේ ඉන්නෙ දේශපාලකයෙක්.නමින් උක්කුබණ්ඩා විජේකෝන්. ඔහු J.R.ජයවර්ධන රජයේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ ස්වදේශ කටයුතු ඇමති .ප්‍රේමදාස රජයේ ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතියේ නියමුවා ඔහු. එම රජයේ පේෂකර්මාන්ත ඇමති.
1994දි ( වයස අවු 57දී පමණ)ඔහු දේශපාලනයෙන් සමුගන්නවා. ඉන්පසු ඔහු කාලය ගතකළේ තම බිරිඳ සමඟ . ඔවුනට සේවකයන් සිටියෙ නැහැ. එන්ජින් ධාරිතාවය 1000cc කාර් එකක් ඔවුනට තිබුනෙ. රියදුරෙක් හිටියෙ නැහැ. දුර ගමන් ගියෙ ත්‍රී වීල් එකකින්. නුවර ටවුමට ගිහින් බස් එකේ.
බිරිඳ සමඟින් ලඟ පෙට්ටි කඩේට ගිහින් එළවළු මිලදී ගත්තෙ සාමාන්‍ය පාරිභෝගිකයෙක් විදියටමයි.ඔහු හිටපු ඇමතිවරයෙක් බව ළඟපාත කෙනෙක්වත් දැනගෙන හිටියෙ නැහැ.
පොල් ත්‍රිකෝණයේ දඹදෙනිය ඡන්ද කොට්ඨාශයේ මන්ත්‍රීතුමා වී සිටි ඔහුට මම ඉඳහිට දිනක මගේ ගෙදර වත්තේ තිබුණ පොල් ගස් කිහිපයෙන් අළුත් පොල් ගිහින් දුන්නම බාරගත්තෙ හරිම සතුටෙන්.මොකද පර්චස් 30 පමණ ගෙදර ඉඩම හැරෙන්නට වෙන පොල්වතු කෙත්වතු ඔහුට නොතිබුණ නිසා. ඒ වගේම පොළොස් ඇඹුලක් ,ගමේ කෑමක් හැදුව දිනක මම ඔහුව බලන්න ගියා .ඒ ඔහු මගේ ඥාතියෙක් නිසා.ඒත් දේශපාලනයෙන් ඥාතීන්ට උදවු නොකළ නිසාම සමහර ඥාතීන් ඔහු අත්හැර තිබුණා.
ඇත්තටම ඔහු තමන්ගෙ එකම පුතාටවත් දේශපාලන බලයෙන් රැකියා නොදුන් කෙනෙක්. ඔහුගෙ පුතු නිරෝෂණ විජේකෝන්. වසර 8 ක් එක දිගට ශ්‍රී ලංකා බැට්මින්ටන් ශූරයා වී තවමත් නොකැඩුන වාර්ථාවක් තැබූ ඔහු පෞද්ගලික ආයතනයක ඉහළ නිලයක් දැරුවෙක්. ඒ ක්‍රීඩා කෞෂල්‍යය නිසා ලද වරප්‍රසාදයක් ලෙසින් මිස පියාගෙ බලයෙන් නෙවෙයි.
ජීවිතයේ සැදෑ සමය සරල මිනිසෙකු ලෙසින් ගෙවූ ඔහු 2016 හදිසි හෘදයාබාදයකින් මහනුවර මහ රෝහලේදි මියයනවා. ඔහු මියගියේ ආත්ම තෘප්තියෙන් පිරුණු ජීවිතයක අවසානයේ.මව්රටට සේවය කළ සතුට , රටෙන් හොරා නොකෑමේ නිරාමිස සතුට ඔහුට තිබුණා. ඔහුගෙ අවසාන ඉල්ලීම වුණේ කිසිඳු අවමඟුල් උත්සවයකින් තොරව තම දේහය හැකි ඉක්මනින් තමන් ශිල්ප ලද පේරාදෙණිය සරසවියට බාරදීමයි.
නුවර මහරෝහල ඉදිරිපස මල්ශාලාවේ පැය කිහිපයකට පමණක් රැඳවූ ඔහුගේ දේහය බලන්නට දුරබැහැර ඥාතීන්ටවත් ලැබෙන්නෙ නැහැ. ඒ වගේම ඔහුගේ දේහයට හෝ ඉන්පසුව ගෞරව දක්වන්න කිසිදු දේශපාලකයෙක් එන්නෙ නැහැ. මොකද දේශපාලනයෙන් ඔහු හදවතින්ම සමුගැනීම.ඔහු ඡන්දෙන් පැරදී ගෙදර ගියා නොව ඡන්දයකට ඉදිරිපත් නොවී නික්මුණ දේශපාලකයෙක්.එයින් නික්මුණු එතුමන් සැදෑ සමය ගෙවුවේ බුදු දහම ඇසුරේ පමණයි. වැලිමඩ ඡන්ද කොට්ඨාශයේ සරසවි වරම් ලද පළමු සිසුවා ඔහුයි. දේශපාලනයට පෙර ඔහු දිසාපතිවරයෙක්. U.B විජේකෝන් සැබවින්ම ලාංකික දේශපාලනයේ මා දුටු කොළ නොව සුදු චරිතයයි.
- නන්දනී විජයබණ්ඩාර –
