නිලධාරින්ගේ නොසැලකිල්ලෙන් සෞඛ්‍ය සේවාව අනතුරේ .

රට තුළ පවතින අස්ථාවරත්වය, ප්‍රමාණවත් වැටුපක් නොලැබීමත්, අසාධාරණ බදු ප්‍රතිපත්තියත් නිසා මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාවයන් සහ අයහපත් වෘත්තිය පරිසරය හේතුවෙන් වේගයෙන් මෙරටට වෛද්‍යවරුන් අහිමි වීම හරහා නිදහස් සෞඛ්‍ය සේවාව දරුණු අනතුරකට මුහුණ දී ඇති අතර එමඟින් ජන ජිවිතද දැඩි අවදානමකට ලක් වී තිබේ .

ගෙවුනු කාලය තුලදී 1500කට අධික විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් පිරිසක් මෙරට අහිමි වී ඇති අතර, තවත් වෛද්‍යවරුන් දහස් ගණනක් නුදුරු අනාගතයේ දීම රටට අහිමි වීමට නියමිතය.

අනීතික නීති පැනවීම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සහ විදෙස් රට වලින් වෛද්‍යවරුන් ගෙන්වීම වැනි යථාර්ථවාදී නොවන විසඳුම් පසෙකලා වෛද්‍යවරුන් රට තුල රඳවාගැනීම ඉලක්ක කරගනිමින් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දිගින් දිගටම අප අවධාරණය කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ද එය පිළිගෙන තිබේ .

එසේ වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික තීරණ සහ ක්‍රියාකාරීත්වය මෙයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරෝධී ලෙස සිදුවනු දැකීම කිසිසේත් පිළිගත නොහැකි ප්‍රවණතාවයකි.

වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි පුහුණුවේ අවසන් අදියර වන අනිවාර්ය විදේශ පුහුණුව සඳහා පිටත් වන වෛද්‍යවරුන්ට අදාළ බැඳුම්කරය පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපියක් පසුගිය දිනවලදී මාධ්‍ය හරහා සංසරණය විය.

වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි පුහුණුව, සෞඛ්‍ය පද්ධතිය තුල රෝගී සත්කාර සේවාවන්හි යෙදෙමින් ලබාගන්නා සංකීර්ණ සහ දුෂ්කර අභ්‍යාසයක් වන අතර එහි අවසන් අදියර ලෙස විදේශ පුහුණුවට පිටත්ව යාමේදී එම වෛද්‍යවරුන් බැඳුම්කරයකට සහ සේවා ගිවිසුමකට එකඟ වී අත්සන් යෙදිය යුතුය.

මෙම බැඳුම්කරය සහ සේවා ගිවිසුම සකස් වන්නේ ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන පදනම් කරගනිමිනි. විදේශ පුහුණු කාලසීමාව තුලදී අනුගමනය කල යුතු කරුණු, එම සේවා ගිවිසුමේ කොන්දේසි, බැදුම්කරය, නැවත මෙරටට පැමිණීමෙන් පසු සේවය කළ යුතු අනිවාර්ය කාලය ආදි කරුණු සියල්ලම මෙම සේවා ගිවිසුම සහ බැඳුම්කරය තුළ පැහැදිලිව දක්වා ඇති අතර, කිසිවෙකුටත් අත්තනෝමතික ලෙස එම කරුණු වෙනස් කිරීම කිසිසේත්ම කළ නොහැක.

එහෙත් පසුගිය දිනවල දී සංසරණය වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු විසින් නිකුත් කරන ලද ලිපිය හරහා තහවුරු වනුයේ, අත්තනෝමතික සහ කිසිඳු පිළිගත් ක්‍රියාමාර්ගයකින් තොරව ඔහු එම ගිවිසුම වෙනස් කර ඇති බවයි. එම ලිපිය හරහා සිදුකර ඇති වැරදි ක්‍රියාමාර්ග කිහිපයක් නිරීක්ෂණය වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව සේවා ගිවිසුමක් වෙනස් කිරීම හෝ වෙනස් අර්ථකථනයක් ලබා දීම නීති විරෝධී සහ විනය විරෝධී කරුණකි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය නිසා මෙරට විශේෂඥ වෛද්‍යවරුන්  පමණක් නොව, විදෙස් පුහුණුව නිමකර රටට සේවය කිරීමේ අරමුණින් පැමිණෙන වෛද්‍යවරුන් පවා රටට අහිමි වී ඇති අතර මෙබඳු නිලධාරීන් නිසා පශ්චාත් උපාධි අධ්‍යයනයට යොමු වන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවද ඉදිරියේදී සීමා වනු ඇත. මේ හරහා මෙරට සෞඛ්‍ය පද්ධතිය තුල විශේෂඥ වෛද්‍යවරුන් හිඟයක් ඇතිවීමේ බරපතල අවදානමක් ඉදිරියේදී මතු වනු ඇත.

මේ වන විටත් අර්බුදයට මුහුණ දී ඇති ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් කඩා වැටීමට අවශ්‍ය පසුබිම සකස් කරන මෙවන් නිලධාරීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පමණක් නොව ජනතාව ද තීරණ ගත යුතු කාලය එළඹ ඇති බව අපි විශ්වාස කරමු.

අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු වූ අතර, මෙයට දැඩි විරෝධය පළ කිරීමට මෙන්ම ඊට එරෙහිව ගත හැකි සියලු නීතිමය සහ පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කරන ලදී.

මෙබඳු ප්‍රායෝගික නොවන සහ නීති විරෝධී ක්‍රියාමාර්ග වහාම හකුලා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන්නේ නම්, ඉදිරියේදී අවශ්‍ය ඕනෑම මොහොතක මුළු රට ම ආවරණය වන පරිදි වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට පවා යොමු වීමට පසුබට නොවන බවද අවධාරණය කරමු.

වෛද්‍ය හරිත අලුත්ගේ,

ලේකම්.

වැඩිදුර විස්තර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය කමිටුවෙන් –

වෛද්‍ය චමිල් විජේසිංහ (මාධ්‍ය ප්‍රකාශක)           –           0717080041

වෛද්‍ය ප්‍රභාත් සුගතදාස                                   –           0714471066

වෛද්‍ය පාලිත රාජපක්ෂ                                   –           0718480300

වෛද්‍ය අජන්ත රාජකරුණා                              –           0766736296

වෛද්‍ය හංසමාල් වීරසුරිය                                –           0776549339

වෛද්‍ය කමල් කොඩිකාර                                 –           0773061881

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ                                –           0716812160

වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ                             –           0777829001

වෛද්‍ය රුවන් ජයසූරිය                                     –           0773000196

වෛද්‍ය එන්. රොෂාන්තන්                                –           0706618059

වෛද්‍ය අන්ෆාස් ෆාරූක්                                    –           0771115117

Exit mobile version