මහවැස්සෙන් මහනුවරටත් දැඩි පීඩා.

අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ එක් අයෙකු මරණයට පත්ව පවුල් 58ක සාමාජික සාමාජිකාවන් 242 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ .

ධාරානිපාත වැසි, අධික සුළං සහ ගංවතුර තත්වය හේතුවෙන් මෙම පිරිස් පීඩාවට පත්ව තිබේ.

ඒ අනුව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අධික සුළං හා වර්ෂාව හේතුවෙන් දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල්
11ක සාමාජික සාමාජිකාවන් 53 දෙනෙකුත් , යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 32 දෙනෙකුත් , අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයන් 23 දෙනෙකුත් , කුණ්ඩසාලේ 39 දෙනෙකුත් අධික වර්ෂාවෙන් ඇති වූ හානි නිසා පීඩාවට
පත්ව සිටින බවයි .

මහ වැසි හේතුවෙන් පූර්ණ නිවාස හානි සිදුව නොමැති අතර නිවාස 66කට අර්ධ හානි සිදුවී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කර තිබේ .

ගස් ඇද වැටීමෙන් සම්පූර්ණයෙන් අවහිරවී තිබූ මහනුවර හන්තාන මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කිරීමට මහනුවර මහ නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති අතර ගම්පොල – කඩුගන්නාව මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් මවුන්ටෙම්පල් ප්‍රදේශයෙන් අවහිර වී තිබේ .

අවදානම් ගස් හා සන්නිවේදන කණු කිහිපයක් ඉවත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින අතර පස් කඳු කඩා වැටුණු ස්ථානයේ අවදානම් සහිත පවුල් කිහිපයක් ඉන් ඉවත් කිරීමට අදාල නිලධාරීන් පියවර ගෙන තිබේ.

එමෙන්ම අවතැන්වූවන්ට කඩිනම් සහන සලසන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකොන් මහතා අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ .

Exit mobile version