ඊයේ (11) අලුයම 1.29 ට මඩකලපුවේ සිට උතුරු නැගෙනහිර දෙසට මුහුදු කලාපයේ කිලෝමීටර් 310 ක් දුරින් රිච්ටර් පරිමාණ 4.6 ක භූ කම්පනයක් සිදුවී ඇති බවත් , මෙම භූ කම්පනය කිසිදු ප්‍රදේශයකට දැනී නොමැති බවත්, භූ කම්පන උපකරණවල පමණක් සටහන්වී ඇති බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ නිල්මිණි තල්දෙන ප්‍රකාශ කරන ලදී.
ඇය වැඩි දුරටත් සදහන් කළේ බෙංගාල බොක්ක ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම කලාපය ආශ්‍රිතව මීට පෙරදීත් වරින්වර රිච්ටර් පරිමාණ 3 ත් 4 ත් අතර භූ කම්පන සිදුවී තිබෙන බවත්, මෙම කලාපය තුළ මේ වසරේදී භූ කම්පනයක් සිදුවූ පළමු අවස්ථාව මෙය බවත් ය.
එමෙන්ම ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු ඔස්ට්‍රේලියානු තල මායිමේ තවත් විශාල භූ කම්පන ප්‍රමාණයක් ඉදිරියේදී සිදුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, භූ විද්‍යාඥ අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
භූ කම්පනය පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා ,
පසුගිය පැය 10 තුළ ඉන්දු-ඔස්ට්‍රේලියානු භූ තලයේ මෙන්ම ඉන්දුනීසියාව හා ජපානය අතර භූ තලයේ භූ කම්පන 08 ක් සිදුව තිබෙනවා. මේ කම්පන සියල්ල රිච්ටර් මාපක 4 ට වැඩි ඒවා වශයෙන් වාර්තා වෙනවා.
නමුත් මේ ගැඹුරු මුහුදේ සිදුවූ භූ කම්පනයෙන් අපේ රටට සුනාමි අවදානමක් නෑ. නමුත් නැගෙනහිර වෙරළට කිට්ටු මුහුදේ මේ කම්පන සිදුවුවහොත් සුනාමි අවදානම උද්ගත වෙන්න පුළුවන්. පසුගිය කාල සීමාවේ විශාල වශයෙන් භූ කම්පන වාර්තා වුණා. මින් ප්‍රබලතම භූ කම්පනය වූයේ මොරොක්කෝවේ සිදු වූ භූ කම්පනයයි. එය ඉතා විශාල එකක්.
ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දු ඔස්ට්‍රේලියානු තලයේයි. මේ තලය දැන් භූ තල දෙකක් වශයෙන් දෙකඩ වෙමින් පවතිනවා. මේ හේතුවෙන් පෘථිවිය අභ්‍යන්තරයේ සිදු වන වෙනස් වීම් මේ භූ කම්පනවලට හේතු වශයෙන් දකින්න පුළුවන්. දකුණු අර්ධ ගෝලයේ කිසියම් රටාවකට අනුව සිදුවන මේ භූ කම්පන අනුව ඉදිරියේදී භූ කම්පන රැසක් සිදුවන බව අපිට කියන්න පුළුවන්. නමුත් අපිට ඒ පිළිබඳව බිය විය යුතු නෑ.
මේ කුඩා භූ කම්පන ඇතිවීම එක අතකින් හොඳයි කියලා අපිට කියන්න පුළුවන්. කුඩා ඒවා වශයෙන් නොව විශාල විභව ශක්තියක් විට කරමින් මහා පරිමාණ කම්පන සිදුවුවහොත් අපිට බලපෑම් වෙන්න පුළුවන්. කෙසේ වුවත් අප රටේ ආයතන රැසක් මේ තත්ත්වය සම්බන්ධයෙන් දිවා රාත්‍රි අවධානයෙන් පසුවෙනවා. අපට ඒ දත්ත නිරතුරුවම ලැබෙනවා මේක ඉදිරි පර්‌යේෂණ සඳහා හොඳ තත්ත්වයක් වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් යනුවෙන්ද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.
