පිරවුම්හල් හිමියන්ගෙන් තෙල් සංස්ථාවට අයවිය යුතු රුපියල් මිලියන තුන්සියයකට (රුපියල් 300,882,260.78) අධික මුදලක් බොල් ණය සේ කපා හැරීමට නිර්දේශ කරමින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරීමට තීරණය කර ඇත. තෙල් සංස්ථාවට බෙදුම්කරුවන්ගෙන් මේ වන විට අයවිය යුතු මුළු මුදල රුපියල් බිලියන දහසය ඉක්මවන අතර මුල් අදියර ලෙස රුපියල් මිලියන තුන්සිය ගණනක් මෙසේ කපා හැරීමට යෝජනා කර තිබේ.
එම යෝජනාව මෙවර කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතව ඇතැයි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨයකු අනාවරණය කළේය.
මෙම මුදල් 2022 මාර්තු 16ට දක්වා අය විය යුතු මුදල ලෙස ගණන් බලා ඇත. මේ වන විට සම්පූර්ණ අයවිය යුතු මුදල රුපියල් බිලියන දහසය ඉක්මවන බව ගණන් බලා තිබේ.
ඉන්ධන මිල උච්ඡාවචනයන්ට සාපේක්ෂව ෂෙඩ් හිමියන්ට වට්ටම් මුදල් ගණනය කිරීමේ දී පදනම් කරගන්නා ඉන්ධන මිල ස්ථායිීකරණය කිරීම යටතේ සංස්ථාවට මෙම මුදල අයවිය යුතු බව ගණන් බලා ඇත.
එසේ තිබියදී මෙම මුදල් අයකර නොගෙන බොල් ණය සේ කපා හැරීමට නිර්දේශ කර ඇත්තේ විදේශීය ආයෝජකයන්ට ඉන්ධන පිරවුම්හල් ලබාදීමේ දී ඒවා සංස්ථාවට ණයවූ පිරවුම්හල් ලෙස ලබාදිය නොහැකි බවට අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් මතය.
මෙම තීරණයට අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරයක් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් අකමැත්ත පළ කර ඇත. මෙම තීරණයට කැමැත්ත පළ වී ඇත්තේ සංස්ථාවේ සභාපති, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) හා අලෙවි කළමනාකරුවන් පමණක් බව තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අරුණට පැවැසීය.
මෙම ණය කපා ගැනීම සම්බන්ධ විගණන විමසුමක් හා අධිකරණයේ නඩුවක් පැවැතියදී බොල් ණය සේ කපා හැරීමේ තීරණයට අමාත්‍යාංශ ලේකම්වරයාගේද විරෝධය පළවූ බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසීය. මේ සම්බන්ධව විමසීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද දුරකතනයට ප්‍රතිචාරයක් නොදැක්විය.
චීනයේ සිනොපෙක් සමාගමට ඉන්ධන පිරවුම්හල් ලබාදීමේ දී ඊට අදාළ ඉන්ධන පිරවුම්හල්වලින් අයවිය යුතු මුදල කපා හැරීමට මූලික අදියරේදී සූදානම් වන බව සංස්ථා ප්‍රකාශකයකු පෙන්වා දුන්නේය.
තෙල් මිල ඉහළ දැමීම්වලදී බෙදුම්කරුවන් ඉහළ ලාභයක් ලැබුවද තෙල් මිල පහළ දැමීමේ දී ඔවුන්ට සිදු වූ පාඩුව සැලකිල්ලට ගෙන මෙම මුදල කපා හැරීමට යෝජනා කර කැබිනට් පත්‍රිකාව යොමු කිරීමට තීරණය කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
බෝනස් එකක් ලෙසින් මෙම මුදල බොල් ණය සේ කපා හැරීම වෙනුවට තෙල් මිල වැඩි කිරීමේ දී ජනතාවට සහනයක් දීමට හැකියාව තිබුණ නමුත් ෂෙඩ් හිමියන්ගේ බහුතරය දේශපාලන හිතවතුන් හා ඥාතින් නිසා ඔවුනට මෙම වාසිය ගැනීමට පියවර ගෙන ඇතැයි වෘත්තිය සමිති නියෝජිතයෝ අරුණට පෙන්වා දුන්හ.
( අරුණ )