“හරි ගමනක් නොගියහොත් වසර 10කින් රට අගාධයට” – ජනපති

පසුගිය සමයේ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින්  රටේ ආර්ථිකය ශක්තිමත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් හිමි නොවන බවත්, නිවැරදි තීන්දු තීරණ සමඟ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළයුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන් බව වාර්තා වේ.

අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට නොගියහොත් තවත් වසර 10ක් යන තැන රට නැවත ආර්ථික අභියෝගයකට ලක්වීම නොවැළැක්විය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150වන සංවත්සර උත්සවයට අද (13) පෙරවරුවේ එක් වෙමිනි.

සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයත් සමඟින් රට ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට තාක්ෂණ ප්‍රවර්ධන සභාව ද, රටෙහි  ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඩිජිටල් පරිවර්තන කොමිසම ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් පවසා තිබේ.

Exit mobile version