පැණි රස පොල් මදයක් සහිත නව පොල් වර්ගයක් මිරිස්ස ප්‍රදේශයෙන් හඳුනාගැනීමට හැකිවූ බවට පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
මෙවැනි පැණි පොල් විශේෂ ඉන්දියාව වැනි රටවල්වලින් හඳුනාගෙන ඇති නමුත් මෙරටදී එවැනි පොල් වර්ගයක් හඳුනාගත් පළමු අවස්ථාව මෙය බව සදහන්.
තවමත් මිරිස්ස ප්‍රදේශයෙන් පමණක් මෙම පොල් වර්ගයේ එක් ගසක් පමණක් හඳුනා ගෙන තිබේ.
සාමාන්‍ය උසකින් යුතු මෙම පොල් ගසේ සෑදෙන ගෙඩි අතරින් බහුතරයක් සාමාන්‍ය පොල් වන අතර, පොල් ගෙඩිවලින් සියයට දෙකක පමණ ප්‍රමාණයක මදය පමණක් මෙලෙස පැණි රසකින් යුක්ත වන බවට පොල් පර්යේෂණ ආයතනය හඳුනාගෙන ඇත.
එමෙන්ම මෙම පොල් ගෙඩිය සාමාන්‍ය පොල් ගෙඩියක පෙනුමට සමාන වුවත් එහි මදය සාමාන්‍ය පොල් ගෙඩියේ මදයට වඩා තරමක් මෘදු ස්වභාවයක් ගන්නා අතර එහි කෙඳි සහිත ස්වභාවය මදක් අඩුය.
මෙම පැණි රස පොල් නව පොල් ප්‍රභේදයක්ද නැතිනම් ජාන විකෘතිතාවයක්ද යන්න තවමත් තීරණය කළ නොහැකි බැවින් පොල් පර්යේෂණ ආයතනය ඒ පිළිබඳව අධ්‍යයනයක් ආරම්භ කර තිබේ.
පැණි පොල් ගෙඩිය පැළ කිරීමට නොහැකි බැවින් මෙම අලුත් පොල් වර්ගය ව්‍යාප්ත කිරීම අපහසුවන බැවින් පටක රෝපණ භාවිතයෙන් පැළ ලබාගැනීම ආරම්භකර තිබේ. තවත් මෙවැනි පැණි රස පොල් ඇත්නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස පොල් පර්යේෂණ ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
