ජපානයත් සඳ අල්ලන්න හදයි.

ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයත් සඳට රොබෝ යානයක් යැවීමට සූදානම් වන අතර ජපන් විද්‍යාඥයන් මෙම යානය නම් කර ඇත්තේ ‘මූන් ස්නයිපර්’ යන නමින් බවත් , මෙම යානය සඳට යැවීමේ අරමුණ සඳුගේ පස පරීක්ෂා කිරීම බවත් , එම යානය සඳට ගොඩබෑමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විද්‍යාඥයන් සඳට යැවීමට සූදානම් වන්නේ මීටර් 2.4 ක් උස, මීටර් 2.7 ක් පළල, මීටර් 1.7 ක් දිග කිලෝ ග්‍රෑම් 700 ක් බර රොබෝ යානයක් වන අතර ජපානයේ සුප්‍රකට සෙල්ලම් බඩු සමාගමක් සමඟ එක් වී ජපන් විද්‍යාඥයන් නිර්මාණය කළ කුඩා රෝවර් යානයක් ද මෙම  චන්ද්‍රයානය තුළ ඇති බව සඳහන් වේ.

විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ  ‘මූන් ස්නයිපර්’ යානය උඩු ගුවනට තල්ලු කරන රොකට්ටුව ආධාරයෙන් චන්ද්‍රිකාවක් ද අභ්‍යවකාශය වෙත යැවීමට කටයුතු කරන බවත් ,  අභ්‍යවකාශය වෙත යැවෙන මෙම යානය  පෘථිවි ගුරුත්ව බලය යොදා ගනිමින්, සඳ බලා යනු  ඇති බවත් ,  ඒ සඳහා මාස කීපයක් ගත වනු ඇති බවත් ය.

ජපාන විද්‍යාඥයන් ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන ඔස්සේ සඳට යානයක් යැවීමට උත්සහ ගන්නේ වසර ගණනක සිට වන අතර 2022 වසරේ ද ජපන් විද්‍යාඥයන් සඳට යානාවක් ගොඩබෑමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. එමෙන්ම පසුගිය මාසයේ ජපන් විද්‍යාඥයන් නව රොකට්ටුවක් අත්හදා බැලූ අතර  පුපුරා යාමක් නිසා එය ද අසාර්ථක විය.

Exit mobile version