රටේ ආර්ථිකය ගොඩනැංවීමට නුවරඑළිය උපරිමයෙන් දායක කර ගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක්.
නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩසටහනකට හා පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසඳුම් ලබාදීමට ජනපතිගෙන් උපදෙස්.
උස ගොඩනැගිලි වෙනුවට සෞම්‍ය පරිසරයක් සමගින් නුවරඑළිය නගරය සංවර්ධනය කළයුතුයි.
සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව රටට අවශ්‍ය නව වැඩපිළිවෙළ වෙනුවෙන් සියලු දෙනා පෙළගැසෙන්න -ජනපති කියයි.
වසර 04ක් තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය දිස්ත්‍රීක්කයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ජනාධිපති මාද්‍ය ඒකකය සදහන් කර තිබේ..
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අද (10) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී බව සදහන් වේ.
නුවරඑළිය දිස්ත්‍රීක්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී නුවරඑළිය නව නගර සංවර්ධන සැලැස්ම සහ නුවරඑළිය සංචාරක සැලැස්ම එළිදැක්වීම ද සිදු කෙරී තිබේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රටේ ආර්ථිකය නැවත ගොඩනැගිය නොහැකි බව බොහෝ දෙනා සිතුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා රජය ඇතිකරගත් එකඟතාව සමග නැවත රටේ ආර්ථිකය පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් තැබීමට සියලුදෙනාට අවස්ථාව ලැබුණු බවයි.
