දකුණු පළාතේ ගාල්ල නගරය සහ ඒ ආශ්‍රිත පාසල්වල පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන්ගෙන් 60% පිරිසක් උකුණන් හේතුවෙන් පීඩාවිඳින බවට සමීක්ෂණයකින් හෙළිවී ඇති බව වාර්තා වේ.
මෙසේ උකුණන් බෝවීම නිසා ප්‍රධාන වශයෙන්ම එම ළමුන්ගේ අධ්‍යාපනයට සහ නින්දට දැඩි ලෙස බාධා මතුවී ඇති බව සදහන්.
රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් සහ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරින් එක්ව ගාල්ල නගරය සහ ඒ ආශ්‍රිත පාසල් කිහිපයක පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් හාරසිය විස්සක් යොදාගෙන මෙම සමීක්ෂණය සිදු කළ බවට ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කර තිබේ.
ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් සිදුකළ මෙම සමීක්ෂණයට අනුව මෙසේ ගැහැනු ළමුන්ගෙන් 60% ප්‍රමාණයකගේ හිස්වල අධික ලෙස උකුණන් සිටීමෙන් ඔවුන් බරපතළ ගැටලුවලට මුහුණ දෙන බව අනාවරණය වී ඇත.
තෙල් සහිත හිස පිරිසිදු නොකිරීම, දුවිලි හිස මත රැඳීම, හිස නිසි ලෙස පීරන්නේ නැතිවීම වැනි කරුණු මෙසේ ළමුන්ගේ හිස්වල උකුණන් ශීඝ්‍ර වශයෙන් බෝවීමට හේතු ලෙස පෙන්වා දිය හැකි බවට මෙම සමීක්ෂණය සඳහා සහභාගි වූ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය අචලා ලියනගේ මහත්මිය ප්‍රකාශ කර තිබේ.
කෙසේ වුවද දකුණු පළාතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන නිලධාරීන් එක්ව මෙම ගැටලුව පිළිබඳව කඩිනමින් සොයා බලා එම තත්ත්වයට පිළියම් යෙදීමට සැලසුම් කර ඇති බවද ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
