සමනළ වැවේ ජලය අපතේ යැවූ අය සොයයි.

එල්නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබියදී සමනළ වැව ජලාශයේ ජලය ගොවිතැන් කටයුතුවලට යැයි කියමින් මීට මාසයකට පෙර අවිධිමත් අයුරින් මුදා හැරීම ගැන සොයා බලා වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන් බව වාර්තා වේ.

සමනළ වැව ජල ප්‍රශ්නයට හේතුව අනවශ්‍ය වේලාවක දී ජලය මුදා හැරීම බවට ලංකා විදුලිබල මණ්ඩල බලධාරීන් විසින් කර ඇති කරුණු දැක්වීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වාර්තාව කැඳවා ඇත.

උඩවලව ජලාශයේ ජල ගැටලුවක් නොමැති අවස්ථාවක සමනළ වැව ජලාශයේ ජලය මුදා හැර ඇති බවට ජනාධිපතිවරයා වෙත තොරතුරු වාර්තා වී තිබේ.

එසේම උඩවලව ජලාශයෙන් පෝෂණය වන අක්කර 25000ක් වන කොටසේ අක්කර 13000 ක් වී වගාවටත් ඉතිරි අක්කර 12000 අනෙකුත් භෝග වගාවන් වෙනුවෙනුත් වෙන් කර වගා කරන ලෙස කෘෂිබලධාරීන් උපදෙස් දී ඇත්තේ මේ එල්නිනෝ කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙනය.

එහෙත් මුළු අක්කර 25000 ක භූමියේම වී වගා කළේ කවර අරමුණකින් ද කාගේ උපදෙස් අනුවද යන්න සොයා බලා වාර්තා කරන ලෙස ද ජනාධිපතිවරයා දුන් උපදෙස්වල සඳහන්ව තිබේ.

Exit mobile version