පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු STF වෙඩි පහරකින් ඇඹිලිපිටිය , 99 ප්‍රදේශයේදී මිය ගොස් තිබේ.
STF කණ්ඩායමට ලැබුණු තොරතුරක් මත කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා පැමිණ විශේෂ කර්‍ය බලකා කණ්ඩායමක් විසින් මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා ගොස් තිබේ.ඔහු සැඟවී සිට තිබෙන්නේ මෙම වෙඩික්කරුගේ සහෝදරයාගේ නිවසේය . සහෝදරයා , සහෝදරාගේ බිරිඳ සහ දරුවන් එම නිවසේ වෙනත් කාමරය නිදාගෙන සිටි බවත් , මෙම සැකකරු එම නිවසේ තවත් කාමරයක නිදාගෙන සිටි බවත් , ඒ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් සූදානම් වීමේදී සැකකරු අත තිබූ පිස්තෝලයකින් STF නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කළ බවත් , ඒ අවස්ථාවේ විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් විසින් පෙරලා වෙඩි තබා ඔහුව ඝාතනය කළ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් එම පුද්ගලයා අත පිස්තෝලයක් තිබුනේද , වෙඩි තැබීමට උත්සාහ කෙළේද යන්න ස්වාධීන සාක්ෂි මඟින් අපට අනාවරණය නොවේ.එසේම මෙහිදී විශේෂ කාර්‍ය බලකා නිලධාරියෙකුට තුවාල සිදුව ඇති බවත් , ඔහුද ඇඹිලිපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.
මෙම අපරාධකරුවන් මරා දැමීමෙන් සමාජයේ අපරාධකරුවන්ගේ ගහනය අඩු නොවේ.නීතියට අනුව අපරාධකරුවෙකු බවට පත් වන්නේ නිසි සාක්ෂි විභාගයකින් අනතුරුවය. එසේම නිසි සාක්ෂි විභාගයක් නොපවත්වා මෙසේ මරා දැමීම තුළින් සිදු වන්නේ විශේෂ කාර්‍ය බලකාය වැනි වැදගත් ආයතන තවදුරටත් විනාශ වීම පමණක් බව අප දිගින් දිගටම පෙන්වා දී තිබේ.එබැවින් කළ යුත්තේ එවැනි අපරාධකරුවන් බවට සැක කරන පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය වේගවත්ව සිදු කර රාජ්‍ය නීතිය මඟින්ම ඔවුන්ට එරෙහිව ගත යුතු උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි.විශේෂ කාර්‍ය බලකාය මඟින් සිදු කළ සමහර වෙඩි තැබීම් වලදී විශේෂ කාර්‍ය බලකායද පටලවා ගත් අවස්ථා තිබේ. එබැවින් මෙම වැදගත් ආයතනය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුත්තේ එම ආයතනයේම නිලධාරීන් විසින් බව අමතක නොකළ යුතුය. එසේම සමස්ත රටම ක්‍රියාත්මක විය යුත්තේද අපරධකරුවන් බිහිවීම වළක්වා ගැනීමට වූවත් එය එසේ නොවීම කණගාටුවට කරුණකි.
අපරාධකරුවන් බිහිවීම වළක්වා යහපත් සමාජයක් ගොඩ නැගීම සඳහා කටයුතු කර තිබෙන්නේද යන්න පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදි අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කරන ලදී. එහිදී එම මහතා ප්‍රකාශ කළේ “ සත් සමාජයක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය අවධානය හෝ කටයුතු පිළිබඳව අවධානය යොමු කර නැති බවයි .” ඒ අනුව මතු අනාගතයේ දී විශේෂ කාර්‍ය බලකායට පමණක් නොව සමස්ත ආරක්ෂක අංශවල මෙහෙයුම්වල යෙදෙන සියලු දෙනාගේම ජීවිත අවධානමකට ලක්වෙමින් ඔවුන්ට අභියෝගයක් වන සමාජයක් මේ වන විට නිර්මාණය වී තිබෙන බැවින් විශාල ලේ වැගිරීම් සිදු විය හැකි බවට අප නැවත නැවතත් අවධාරණය කරන්නෙමු.
