වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 93,000 ඉක්මවා ගොස් ඇති බවට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කර බව වාර්තා වේ.
මේ වන විට වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 05ක පවුල් 28,945කට අයත් පුද්ගලයන් 93,164 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවට එම මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.
මීට පෙර සබරගමුව, නැගෙනහිර, වයඹ සහ උතුරු පළාත්වලින් පමණක් පුද්ගලයන් වාර්තා වී තිබුණ ද මේ වන විට ඌව පළාතෙන් ද පීඩාවට ලක්වූ පුද්ගලයන් වාර්තා වන බව සදහන්.
මාධ්‍ය හමුවකට එක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, මෙම වසරේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල වර්ෂාපතනය ඉහළ යාමක් පෙන්නුම් කළ හැකි බවයි.
මේ අතර, මෙම මාධ්‍ය හමුවට එක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ, පවතින වියළි කාලගුණ තත්ත්වය දේශපාලන සටන් පාඨ ලෙස යොදා නොගන්නා ලෙස තමන් සියලු පාර්ශ්ව වෙතින් ඉල්ලීමක් සිදු කරන බවයි.
කෙසේ වෙතත් මේ වන විට ජලය නොමැතිකම හේතුවෙන් වලව කළාපයේ ගොවීන්ගේ වගාවන්ට සිදුවූ හානි වෙනුවෙන් වන්දි ලබා දීමට පියවර ගත යුතු බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කර තිබේ.
