ගැහැණුන්ට ගැහුවේ කාර්ගිල්ස් විතරද?. එතකොට ඔබ ගෑණුන්ට ගහලම නැතිද?

ගැහැණියකට හිංසනය කිරීම නිසා කාගිල්ස් ව්‍යාපාර ජාලය රට හැරදා යා යුතුයැයි යෝජනා කරන පිරිස් ඇත.

ගැහැණුන් ට හිංසා කිරීම සමාජයේ මුලධර්මය කරගත් රටකට සී සි ටි වී කැමරා වලින් දිස්වූ අසික්කිත දර්ශන ටික සිහිය ගෙන දුන්නේ නම් මැනවි.එහෙත් සිදුවන්නේ “යන්නේ කොහෙද මල්ලේ පොල් “කතාවකි.

කාර්ගිල්ස් ජාලයේ වත් රැකියාවක් සොයාගැනීමට නොහැකිව වෙහෙසෙන තරුණ දරුවන් මට හමු විය.ලංකාවේ තරුණ දරුවන් අසහනයෙන් මන්ද පෝෂණයෙන් පෙළෙමින් අවිනිශ්චිත අනාගතයක උරුමකරුවන් වී සිටිති.නීතීය ක්‍රියාත්මක නොකර පාස්කු ප්‍රහාරය ගැන විවාද තබමින් ඒවාටද වියදම් කරමින් පිස්සු කෙලින දේශපාලනය හා පවුල් පිටින් කරගහගෙන ජනතා මුදලින් පිට රට ස‍වාරි යන දේශපාලනය තම පරණ පුරුදු ඥාති සංග්‍රහය ආරම්භ කර තිබේ.

රටේ මිනිසුන් අරගලයක් කර එපා කියූ දේට දේශපාලනය නැවත අවතීරණ වෙමින් තිබේ.විසඳුමක් නැති රටක සියලුදෙනා ඉන්නේ පීඩනයෙන් ය.

ලොකු හොරුන්ට ආචාර සමාචාර කර අග හිඟකම් නිසා සොරකමේ යන අයට පහර දීමේ සංස්කෘතිය ලංකාවට ආවේණිකය.කාර්ගිල්ස් සිද්ධිය ,තවත් වෙළඳසැල් දෙකක සිද්ධිය සමාජ මාධ්‍ය වල කියාපෑවේ මිලේච්ඡ භාවයේ සත්‍යය.නීතීය ක්‍රියාත්මක කළ යුතුය.

සාක්ෂි සහිතව සියල්ල ඇති නිසා තීන්දු ප්‍රමාද නොකළ යුතුය.අනෙක් අතට රටේ රැකියා අවස්ථා සපයන ආර්ථික අවස්ථා සපයන වෙළඳ ජාලයක් එක සිද්ධියකින් වර්ජනය කර තවත් අර්බුධ සියයක් ගොඩ නැගීමට කටයුතු නොකළ යුතුය.

කාර්ගිල්ස් ජාලය වර්ජනය කර රටේ ගොවියාගේ සිට අසරණ කිරීමේ හා එම ව්‍යාපාර ජාලයට විකල්ප ජාලයක් ගොඩ නැගීමේ අදහස් හා උවමනාවන් නැතිවා වන්නට බැරිය.අපේ රටේ මිනිසුන් නැති අර්බුධ මවා රට වල පල්ලට ගෙන යන්නට ශුරයන්ය.දුප්පත් කමට විසඳුමක් ඉල්ලා වී ගබඩා ගිනි තැබූ යුගයක් තිබුණි.එලෙස කරගත් හානිය ඩොලර් මිලියන 2000 ක් ඉක්මවා තිබේ.තව තවත් විනාශයන් කර, තිබෙන තැනින් වල පල්ලට නොයා සිද්දියක් මගින් සමස්ථය තීරණය නොකර වැරදි කරුවන්ට දඬුවම් හා වින්දිතයන්ට වන්දි ලැබීමට හැකි වන සේ නීතීය ක්‍රියාත්මක කරන්නට බල කිරීම පුරවැසි යුතුකමය.

ලංකාව ගුටි දී,ගුටි කකා ගුටි වලින්ම සමස්ථය තීරණය කරන සාමුහික ප්‍රචණ්ඩ ජාතියක් නොවීමේ අරගලය ආරම්භ විය යුත්තේ,දරුවා ගෙන් හා නිවසෙනි.එය මා කලක සිට අවබෝධ කරගෙන සිටිමි.ලංකාවට අවශ්‍ය වන්නේ සමාජ විද්‍යාත්මක විසඳුමකි.සමාජවාදී විසඳුමක් නොවේ. ගෘහස්ත හිංසනය වසා තබාගෙන..කැමරා වලින් වන හිංසනයට රටේ තියෙන සීමිත ව්‍යාපාර වල පැවැත්ම තීරණය කරන්නට යාම..අලි කුඹුර කෑ විට ගෙදර වංගෙඩිය ට තඩි බෑමකි.

Exit mobile version