පිටි කිලෝවක මිල රුපියල් දහයකින් අඩු කලද එහි වාසිය තමන්ට නිසි ලෙස නොලැබෙන බව වතු කම්කරුවන් පිරිසක් පවසති.
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන එම පිරිස් පවසනුයේ වතුකරයේ ජීවත්වන තමන් බොහෝ අවස්ථාවලදී පිටි මිලදී ගනුයේ වතු තුල පවතින කඩවලින් බවත් එම කඩවල පිටි මිල අඩු නොකිරීම හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයයන්ට පත්ව ඇති බවත් ය.
පිටි මිල අඩු නොකිරීම පිළිබඳව එම කඩවලින් විමසන විට ප්‍රවාහන ගාස්තු ප්‍රශ්නය නිසා මිල අඩු කල නොහැකි බව පවසමින් පැරණි මිලටම පිටි විකිණීම සිදු කරන බවත් මෙම තත්ත්වයන් මත අඩු කරන ලද පිටි මිලේ වාසිය තමන්ට නොලැබෙන බවත් ඔවුන් පවසති.
රජය මගින් පාරිභෝගිකයන්ට ලබා දෙන සහන නිසි ලෙස එම පාරිභෝගිකයන්ට ලබා නොදෙන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව අදාල නිලධාරින් නිසි ලෙස ක්‍රියා කරන්නේ නම් මෙවැනි තත්ත්වයක් උදා නොවන බවද එම පිරිස් වැඩිදුරටත් පවසති.
