මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් අල්ලන්න පොලිසිය සීරුවෙන්.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අගෝස්තු 01 වනදා සිට දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පසුගියදා බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවූ 41 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් 19 දෙනෙකු බස් රථ රියදුරන් වේ.

ශ්‍රී ලංකාවේ සිදුවන රිය අනතුරින් වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම නිසා සිදුවන බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

එමෙන්ම රට තුළ වාර්තා වන රිය අනතුරු සංඛ්‍යාවේ ද සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිසිය පෙන්වා දෙයි.

මේ රට තුළ 2020 වසරේ වාර්තා වූ අනතුරු 23,704කින් පුද්ගලයින් 2,370ක් මිය ගොස් ඇත.2021 දී රිය අනතුරු 22,847කින් පුද්ගලයින් 2,559ක් මිය ගොස් තිබේ.

මේ වසරේ (2023) ජනවාරි 1 වනදා සිට ජුනි 18 වැනිදා දක්වා පමණක් වාර්තා වූ රිය අනතුරු 8,875කින් පුද්ගලයින් 1,043ක් මිය ගොස් ඇත.

බීමතින් රිය පැදවීම හදුනාගැනීමේ ක්‍රියාමාර්ග තිබුණද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම හදුනාගැනීමේ ක්‍රමවේද ඔවුන් සතුව නොමැති බව පොලිසිය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කරගෙන ඇති බැවින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීමට රජය මෙම විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මේ ආකාරයෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නන් හදුනාගැනීමේ විශේෂ මෙහෙයුමක් ජුනි 12 වැනිදා සිට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වූ අතර එහිදී පුද්ගලයින් 1781 දෙනෙකු පරීක්ෂා කර රියදුරන් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

( ලංකා සර )

Exit mobile version