මධ්‍යම පළාත් සභාවේ සභාපති, අමාත්‍ය ධූර හා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ තනතුරු සදහා වෙන් කර තිබූ වාහන 9 ක් පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසුව නිළධාරින් හට නිත්‍යානුකූලව භාවිතා කළ හැකි වන ලෙස මධ්‍යම පළාත් සභාවේ කැබිනට් මණ්ඩලය විසින් විශේෂ අනුමැතියක් ලබා දී ඇත .
මෙවැනි අනුමැතියක් ඇත්තේ මධ්‍යම පළාත් සභාවේ පමණක් බවද පැවැසේ.
2018 දී මධ්‍යම පළාත් සභාව අවසන් කිරීමට පෙර එවකට ප්‍රධාන ඇමති වරයා වශයෙන් කටයුතු කළ සරත් ඒකනායක මහතාගේ යෝජනාවක් අනුව මෙම පළාත් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇති අතර ඒ අනුව එම වාහන නීත්‍යානුකූලව නිළධාරින්ට ඔවුන්ගේ තනතුරු අනුව භාවිතා කිරීමට හැකියාව තිබේ.
පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වරුන් දෙදෙනකු ඔවුන්ට පරිහරණය සදහා රජයේ වාහන ලබා දෙන තෙක් මධ්‍යම පළාත් සභාව සතු මහජන නියෝජිතයන් භාවිතා කළ දැනට නිළධාරින් භාවිතා කරන වාහන ඉල්ලා තිබුණද අදාළ පළාත් සභා කැබිනට් තීරණය හේතුවෙන් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරිණි .
මේ සම්බන්ධයෙන් අප මධ්‍යම පළාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමති සරත් ඒකනායක මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සදහන් කළේ යළි පළාත් සභාව රැස් වන දිනයක් හෝ මැතිවරණය පැවැත්වෙන දිනයක් නොදන්නා බැවින් තමා එදා ගත් තීරණය හේතුවෙන් විශාල වටිනාකමක් ඇති වාහන දිරාපත් නොවී බේරා ගැනීමට හැකි වූ බවයි .සංචිත තුල මෙම වාහන ගාල් කර තබා ආදායම් හා රක්ෂණ බලපත්‍ර ලබා ගෙන නඩත්තු කරමින් සිටිනවාට වඩා පළාතේ සේවා කටයුතු වෙනුවෙන් නිළධාරින් මෙම වාහන භාවිතා කිරීම උචිත බවද හිටපු ප්‍රධාන ඇමතිවරයා පැවැසීය .එමගින් එම වාහන ආරක්ෂා වන බවද හෙතෙම පැවැසීය .
මේ අතර පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා අද ලංකාදීප වෙබ් අඩවියට පවසා ඇත්තේ පළාත් සභා හා පළාත් පාලන ආයතන වල වාහන නිළධාරින් විසින් හිතුමතේ භාවිතා කිරීම නිසා එම වාහන ඉදිරියේදී පත් වන මහජන නියෝජිතයන්ට භාවිතා කිරීමට නොහැකි වනු ඇති බවයි .එබැවින් එම වාහන හදුනාගෙන සංචිත වල තබා ගැනීම සුදුසු යැයිද ඇමැති වරයා පවසා ඇත.
සරත් සමරනායක.
