උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පිලිබදව මහාචාර්ය බන්නැහැක මහතා අදහස් දක්වමින්.

උසස් පෙළ සිසුන්ගේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම පිළිබඳව අවසන් තීරණයක් 25 අඟහරුවාදා තම සංගමයේ විධායක සභාව රැස් වීමෙන් අනතුරුව ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පවසා ඇති බව වාර්තාවේ.

තම ඉල්ලීම් වලට ඇහුම්කන් නොදී ආණ්ඩුව ප්‍රශ්නයට වෙනත් මුහුණුවරක් ලබා දීමට සැරසෙන බවද ආණ්ඩුව මර්ධනකාරී අයුරින් ප්‍රශ්නය  විසඳීමට සූදානම් වුවහොත් ඊට මුහුණ දීමට තම සංගමය සූදානම් බවද ඒ මහතා පවසා ඇත.

දෙමළ සිසුන්ගේ උත්තර පත්‍ර බැලීම ආරම්භ කර ඇති බවට කරන ප්‍රචාර මුලුමනින්ම බැහැර කරන බවද දෙමළ සිසුන් සිංහල සිසුන් හෝ වෙනත් ජනවාර්ගික සිසුන් කියා වර්ග කිරීම් තම සංගමය කිසිසේත්ම අනුමත නොකරන බවද මහාචාර්ය වරයා පැවැසීය .

ආණ්ඩුවට මෙම ප්‍රශ්නය විසඳීමේ අවංක උවමනාවක් ඇත්නම් මාර්ග ගත ක්‍රම ඔස්සේ හෝ හෙට දිනයේ තම සංගමය සම්බන්ධ කරගෙන සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නයට පිළිගත් විසඳුමක් ලබා දීමට තවමත් ප්‍රමාද නොවැඩි බවද ඒ මහතා පැවැසීය .

වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා මෙසේද පැවැසීය .

තම සංගමය රට වෙනුවෙන් සිසුන් වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම්. ඒත් හොදින් මතක තියාගන්න අප කියන රට හා ජනතාව මේ ජනවරමක් නොමැති ආණ්ඩුව නොවෙයි .මේ ප්‍රශ්නය ,අපේ ඉල්ලීම් තැන් තැන් වලින් අල්ලා ගන්නෙ නැතුව හොඳින් අවබෝධ කර ගන්න කියලා අපි ජනතාවට කියනවා.අපේ මේ අරගලය බඩගෝස්තර වාදය වෙනුවෙන් නොවෙයි .රට අතහැර යන අපේ උගතුන් රටේ නවතා ගැනීම වෙනුවෙන් .රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් .

විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් සිදුකරනු ලබන්නේ පැය විසිහතරක සේවාවක් යැයිද තම සේවාවන් කම්කරු නීති රීති අනුව පැමිණීම හා පිටවීම අත්සන් කරන්නේ නම් පැය 08 කින් පසුව කෙරෙන සියලු අධ්‍යයන කටයුතු හා පරීක්ෂණ කටයුතු සදහා අතිකාල ගෙවීමට සිදු වනු ඇති බවද පැවැසූ මහාචාර්ය වරයා හමුදාව හෝ වෙනත් ඕනෑම පිරිසක් යොදවා උත්තර පත්‍ර පරීක්ෂා කළ හැකි යැයිද එහෙත් එහි ගුණාත්මක භාවය මනිනු ලබන්නේ කුමන අයුරින් යන්න ජනතාව තේරුම් ගත යුතු බවද පැවැසීය .

සරත් සමරනායක 

Exit mobile version