රනිල් සජිත් එක්වන ලකුණු – තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලයට.

රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුව සමඟ එක්වන ලෙස ජනාධිපතිවරයා විසින් සිදු කළ ඇරයුම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව සමගි ජන බලවේගයේ  මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ (04) ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම ආරාධනය ජනාධිපතිවරයා කුමක් අරමුණු කරගනිමින් සිදු කළේ ද යන්න පිළිබඳව සමගි ජන බලවේගය වෙත මෙතෙක් නිල දැනුම්දීමක් කර නොමැති බව ද සඳහන් වේ.

එමෙන්ම මීට පෙරද ජනාධිපතිවරයා විසින් මෙවැනි ආරාධනයක් සිදු කළ බවත් , නමුත් කිසිදු අවස්ථාවකදී සාකච්ඡාවකට පැමිණ නොමැති බවත් මහ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම වර්තමාන ජනාධිපතිවරයාගේ ඉදිරි ඉලක්කයන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඉතා හොඳින් දන්නා බවත් , ජනාධිපතිවරණයක් බලාපොරොත්තුවෙන් මෙම සියලු දේශපාලනය යෝජනා ඉදිරිපත් කරන බවත් , නමුත් රට අගාදයට ගොස් ඇති අවස්ථාවක රට වෙනුවෙන් ඕනෑම දෙයක් සිදු කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

තවද රට ගොඩ ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන්නේ නම් එයට සහයෝගය ලබා දීමට ද කටයුතු කරන බවත් , සිය  පක්ෂය හෝ මන්ත්‍රී ධූරයක්වත් රැක ගැනීමට නොහැකි වූ ජනාධිපතිවරයා විපක්ෂ නායකකම සමගි ජන බලවේගයට ආරක්ෂා කර දීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා තව දුරටත් සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්‍යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී බව සඳහන් වේ.

Exit mobile version