“වගකීම ගොවියා පිට දමා ආණ්ඩුව අත පිහදා ගැනීම.” – කරුණාරත්න පරණවිතාන

උඩවලව ගොවිජන සහ ජල අර්බුදයේ වගකීම සම්පූර්ණයෙන්ම ගොවි ජනයා මතම පැටවීමට ආණ්ඩුවේ ප්‍රචාරක යන්ත්‍රය කටයුතු කරන බව පේනවා. මහාචාර්ය මද්දුම බන්ඩාර මහතා ලියා තිබෙන ලිපියක් මම දුටුවා .ඒ මහතා මෙි ලිපිය ලියා තිබෙන්නේ උඩවලව ගොවි ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම ගොවියන් පිට දැමීමේ අරමුණකින් බව පේනවා. ගොවියන් 100% ක් කන්න රැස්වීම් වල තීරණය අනුව කටයතු නොකරන බව ඇත්ත. ජලය,ඉඩම් සකසුරුවමින් හා වගකීමකින් යුතුව ගොවින් විසින් පාවිච්චි නොකිරීම අප රටේ තිබෙන දිගුකාලීන ගැටලුවක්. නමුත් මේ වගාවන් කෙරෙන්නේ කංසා වගාව වගේ හොර රහසේ නොවේ. එළිපිට. යාය මැදයි. කන්න රැස්වීමේදි ගොවීන් සහ රජය එක්වී සාමූහිකව ගන්නා තීරණ තදින් ක්‍රියාත්මක් කිරීමට තමයි විශාල නිලධාරීන් පිරිසක් වසමක් ගානේ පත් කරලා ඉන්නේ.

යල කන්නෙදි උඩවලව ජලාශයේ ජල මට්ටම අඩුව තිබෙද්දිත් සාමාන්‍යයෙන් වැඩි ඉඩම් ප්‍රමාණයක් වගා කිරීමට කන්න රැස්වීමෙදි තීරණය ගන්නේ වැසි ලැබේය යන අපේක්ෂාව සහිතව අවදානමක් දරමින්. මේක හැම කාලෙකදීම සිදු වුනා. මෙවර බලාපොරොත්තු වූ වැස්ස ලැබුනේ නෑ. වැස්ස ලැබුනත් නැතත් ජලය අඩුවනවිට පීඩන මට්ටම පවත්වාගනිමින් උඩ වලව ජලාශය ගොවිතැනට ප්‍රමාණවත් ජලධාරිතාවක් සහිතව වගා කන්නෙදි නඩත්තු කිරීමට සමනල වැවෙන් ජලය ලබා දීම හැමකාලෙකදිම වෙලාවට සිදුවුණා. නමුත් මෙවර විතරක් එය ඉටු කළේ නෑ. ඒ ඇයි ?

නමුත් ප්‍රශ්නය උග්‍රවෙද්දි ජුලි 07 වනදා ආණ්ඩුවේ නිලධාරීන් ජනමාධ්‍ය ඉදිරියට ඇවිත් ප්‍රසිද්ධියේම කිව්වා සමනල වැව ජලය උඩවලවට ලබා දෙන බව. උඩවලව ගොවිබිම් අඟලක්වත් විනාශ වෙන්නට ඉඩ නොදෙන බව. නමුත් ආණ්ඩුව කිව්වට එසේ කළේ නෑ.ගොවීන්වත් රටත් රැවැට්ටුවා. මහාචාර්ය මද්දුම බන්ඩාර මහතාගේ ලිපියේ ඒ ගැන අවධානයක් යොමු කර නෑ. ජූලි මාසෙ මුලදි වතුර දුන්නා නම් මේ වගා පාලුව මේ අකාරයට දරුණුව සිදුවන්නේ නෑ.

ඇමති කාංචන මහතා බලන්නේ විදුලි බලය නිපදවීම ගැන පමණයි. නමුත් මෙය ජාතික ජලපාලන කාර්යාලයේ අනුමත ක්‍රියා පිළිවෙලට විරුද්ධයි.

හුදෙක් තනිකරම සමනල වැව බලාගාරය මතම යැපෙන්නේ නැතිව දකුණුු පලාතට අඛණ්ඩව විදුලිය දීමේ අරමුණින් තමයි විකල්ප අධිවේගී විදුලි රැහැන් මාර්ගයක් ලක්ෂපාන සිට රත්නපුර සිරිපාගම හරහා ගාල්ලට හැදුවේ කෝටි ගාණක වියදමකින්. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවී තිබෙන්නේ පුංචි ප්‍රශ්නයක් විසඳීම සාපරාධී ලෙස මගහැර තිබීම නිසයි.


කවුරුත් දැන් දන්න සිරිපාගම මීටර් 600 ප්‍රශ්නය අවරුදු 3 ක් තිස්සේ පුදුමාකාර ලෙස විසඳන්නේ නෑ. මෙය ජාතික අපරාධයක්. අර්බුදය තනිකරම ගොවියන් පිට දමන්නට හදන අයට මේ අපරාධය පිටුපස සැඟවී තිබෙන ගජමිතුරු ව්‍යාපාරික වුවමනාවන් පේන්නේ නෑ.
දෙන්න බැරි වතුර දැන් දීලා තිබෙනවා. රටේ ජල සම්පත විදුලිය ජනනය මූලික කරගෙන කලමනාකරණය කිරීම වැරදියි. එහෙම කරන්න ගියොත් සමහර ලිබරල්වාදී මනස් සහිත අයට නෙපෙනෙන මහා සමාජ අසහනයක් මතු වෙන්න පුලුවන්. ඒ අනුව,පමා වී හෝ උඩවලවට ජලය නිකුත් කිරීමට ගත් තීන්දුව හොදයි. එයින් මෙතෙක් කරගෙන ආ ක්‍රියාවලිය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පූර්වාදර්ශය එයින් රැකෙනවා.

සමනල වැව උඩවලව නිම්නයේ ඉහළ කොටසේ හැදුවේ උඩවලව ජලාශය තර්ජනයකට ලක් නොවීම කියන මූලික ප්‍රතිපත්තිය මත පදනම් වෙමින්ය යන කාරණය දැන් වැඩි දෙනාටම අමතක වෙලා.

අපි රත්නපුරේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු වල වැඩ කරද්දී මේ ප්‍රශ්න වලට මුහුණ දුන්නේ මේ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින්. දැන් කොහොම කරනවාද දන්නේ නෑ. නමුත් මේ අර්බුදයෙදි ගොවීන් බිල්ලට දීල ආණ්ඩුවට අත පිහදා ගන්න බෑ. අපට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ සෘජු තීන්දු ගැනීමට වගේම විශාල සහකම්පනයකින් යුතුව තීන්දු ගැනීමටයි.

කරුණාරත්න පරණව්තාන
හිටපු නියෝජ්‍ය අමාත්‍ය.

Exit mobile version