පොලිස් වෙස් ගෙන ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ල කාලා.

පොලිස් නිලධාරීන්ගේ වෙස් ගෙන නිවස සෝදිසි කිරීමට අවශ්‍ය යැයි පවසා කහතුඩුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක් ඊයේ (30) සවස කොල්ල කා ඇති බව වාර්තා වේ.

එකවරම තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් නිවසට කඩා වැදී ව්‍යාපාරිකයාගේ බිරිඳට සහ පුතුට පහර දී රුපියල් ලක්ෂ 25කට ආසන්න වටිනාකමකින් යුතු රන් භාණ්ඩ තොගයක් රැගෙන පලා ගොස් ඇති බව සඳහන් වේ.

අපරාධ  විමර්ශන අංශයේ නිලධාරීන් බව පවසමින් නිවස පිටුපස දොර අසලට පැමිණ මත් කුඩු සෙවීමට ආ බව සහ තමන්ගේ රන් භාණ්ඩ තිබේ නම් ඉවත් කර ගන්නා ලෙස පවසමින් නිවසට ඇතුළු වීමට සැරසීමේදී ව්‍යාපාරික බිරිඳ අදාළ පුද්ගලයන්ගේ හැදුනුම්පත් පෙන්වන ලෙස දන්වා තිබේ. එම අවස්ථාවේ දී එක් කොල්ලකරුවෙකු විසින් ඇයගේ මුහුණට පහර දී තිබේ. අනතුරුව ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුත්‍රයා තම පියාට මේ බව දැනුම් දීම සඳහා ජංගම දුරකථනය ද රැගෙන නාන කාමරයට ගොස් තිබේ. එම අවස්ථාවේ දී ද එහි දොර කඩා පුත්‍රයාට පහර දී ජංගම දුරකථනය ද පැහැර ගෙන ගොස් තිබේ.

කාමර 03 ක තිබූ අල්මාරි 03 ක් පරීක්ෂා කර රන් භාණ්ඩ සහ ව්‍යාපාරික බිරිඳගේ ගෙල බැද තිබූ මාලය ද කොල්ල කා පලා ගොස් තිබේ.

මෙම කොල්ලකරුවන් අදාළ නිවස තුළ විනාඩි 15ක් පමණ රැඳී සිට ඇති බවත් මොවුන් යතුරුපැදිවලින් පැමිණ තිබූ බවත් පොලිස් විමර්ශනවලින් හෙළිව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඒකාබද්ධව විමර්ශන කටයුතු සිදු කෙරෙන බව වාර්තා වේ.

Exit mobile version