මෙරට ක්‍රියා කලාපය රුසියාව ඉහළින්ම අගය කරයි.

ජාත්‍යන්තරය තුළ සිදුවන යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන මැදිහත් පිළිවෙත රුසියානු රජය ඉහළින්ම අගය කරන බවත් , බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාව ඇතුළු ඇතැම් රටවල අභ්‍යන්තර ගැටලු වෙත සිදුවන බලපෑම වහා නතර කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජයර්‍යාන් මහතා ඊයේ (23) කොළඹ ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේ පැවැත්වුණු  මෙරට රුසියානු තානාපති කාර්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සංස්කෘතිකාංග හා ආහාර ප්‍රදර්ශනයට සහභාගී වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම ප්‍රදර්ශනය සඳහා මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍යය , මැලේසියාව , රුසියාව , ඉරානය සහ මාලදිවයින යන රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් එක්ව සිටි බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජයර්‍යාන් මහතා ,

අපි ඉතා අගයනවා ජාත්‍යන්තරය තුළ ඇතිවන ඇතැම් ගැටලුකාරි අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන මැදිහත්භාවයට. ඒ වගේම මානව හිමිකම් කඩකිරීම් වැනි චෝදනා එල්ලවූ අවස්ථාවේදී අපි ඔබ සමඟ එක්වී සිටියා. ඇතැම් බටහිර රටවල් විසින් අභ්‍යන්තර ප්‍රශ්න සඳහා සිදුකරනු ලැබූ මැදිහත්වීමද අපි දැඩි ලෙස හෙළා දුටුවා. ශ්‍රී ලංකාව වැනි නිදහස් රාජ්‍යයන් ඇතුළු ඇතැම් රටවල අභ්‍යන්තර ගැටලු සඳහා මැදිහත්වීම එවැන්නක්. මගේ පණිවිඩය වන්නේ වෙනත් රටවල අභ්‍යන්තර ගැටලු සඳහා මැදිහත් වෙන්න එපා. ඔබ රටවල ඇතිවී ඇති ගැටලු සඳහා අවධානය යොමු කරන්න. නැවතත් මම ප්‍රකාශ කරන්න කැමති එවැන්නක් කිසිවිටක අනුමත කරන්න බැහැ.”

එමෙන්ම ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්‍යාලයේ පළමු ලේකම් මාරියා එල්.පෝපෝවා මහත්මිය ,

අප දෙරට අතර ඇත්තේ දිගු ඉතිහාසයක් ඇති මිත්‍රත්වයක්. ඒ නිසා සෑම අවස්ථාවකදීම අපි එකිනෙකාට උපකාර කරනවා. එය ඕනෑම අවස්ථාවකදී හා ඕනෑම අර්බුදයකදී පොදු දෙයක්.”

Exit mobile version