මහ බැංකුවේ නැති වූ ලක්ෂ 50 ක නෝට්ටු ගැන සොයන්න පැති කිහිපයකින් විමර්ශන .

මහ බැංකුව තුළ තිබූ රුපියල් ලක්ෂ 50ක නෝට්ටු බන්ඩලයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මේ වනවිට පැති කිහිපයකින් විමර්ශන ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එහිදී අදහස් දැක්වූ ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ මේ වනවිට මහ බැංකුව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් , පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද පරීක්ෂණ පවත්වන බවත් ය.

එමෙන්ම අදාළ විමර්ශන අවසානයේ දී සිදුවීම පිළිබඳ පැහැදිලි අර්ථකථනයක් ලබාගත හැකි බවත් , එයට වගකිව යුතු පාර්ශව කවුරුන්ද යන්න අනාවරණය කළ හැකි බවත් , මේ වනවිට අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස මහ බැංකු අධිපතිවරයා විසින් පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කරන ලදී .

තවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ එම විමර්ශන අවසන් වූ වහාම සිදුවීම සම්බන්ධයෙන් සියලු තොරතුරු සභාවට දැනුම්දෙන බවයි .

Exit mobile version