තමන්ට හරි හම්බ කිරීමට පුලුවන්කම තිබියදීත් දෙමව්පියන්ගෙන් කා බී යැපෙන දරුවන් අතරේ පවුලේ ආර්ථිකය සවිබල ගැන්වීමට උර දෙන දිරිය දියණියක් පිළිබඳ පුවතක් රත්නපුර මල්වල ප්‍රදේශයෙන් වාර්තා වේ.
එනම් මීට දස වසරකට පෙර තම සැමියා රෝගී තත්ත්වයක් නිසා අහිමි වූ දා සිට තම පවුලේ බර කරට ගෙන අනේක දුක් ගැහැට විදිමින් පවුලේ ආර්ථිකය සවිබල ගැන්වූ කාන්තාවක් සහ ඇයට උර දෙමින් තම ජීවිකාව ගෙන යාමට සහය වූ මිණිපිරියක් පිළිබඳවයි.
ඇය නමින් ඊ.පුෂ්පලතාය.ඇයට ශක්තියක් වෙමින් අනාගත පරපුරට විශාල ආදර්ශයක් ලබා දෙන ඇගේ මිණිපිරිය දුලානි හංසිකාය.
එම දියණිය රත්නපුර මල්වල මහ විද්‍යාලයේ 7 වසරේ ඉගෙනුම ලබන අතර වසර 12 ක් වන ඇය පවසන්නේ තමන් පාසලේ අධ්‍යාපන කටයුතු වලට කිසිම බාධාවක් ඇති නොවන ආකාරයෙන් සිය මිත්තණියට උදව් වෙමින් දෑතේ රැකියාව ප්‍රගුණ කරන බවයි.
දියණිය ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පවසන්නේ,
” මට පාපැදියේ සිට විශාල ලොරි හා බස් රථවල පවා ටයර් සවිකිරීමේ හැකියාවක් තියෙනවා.මම ඒවා ඉගෙන ගන්නේ අත්තම්මාගෙන්. මම ආසයි මේ රැකියාව කරන්න.හොදට ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙන්න තමයි ඉදිරි බලාපොරොත්තුව.මට කිසි ලැජ්ජාවක් නෑ මේ රැකියාව කරන්න. මගේ පාසල් ගුරුවරු එන්නෙත් එයාලගෙ වාහනවල පැච් දමාගන්න අපේ ළගට යැයි.”
පුෂ්පලතා පවසන්නේ මෙවැනි දෙයකි.
“මගේ සැමියා මිය ගියාට පස්සේ දරු දෙදෙනා සමග තනි වුණා.කඩේකින් බඩුවක් ගන්නවත් මට විදිහක් තිබුණෙ නෑ. ඒ අය මට ගෙවා ගන්න බැරි නිසා ණයට කිසි දෙයක් දෙන්න කැමති වුණේ නෑ.අනේක දුක් ගැහැට වින්දා.මම මේ වැඩේ පටන් ගත්තා.අද මට පිරිමින්ගේ කරට කර වැඩ කරන ශක්තියක් ඇවිල්ලා.බර වැඩ කලහම මත්වතුර බොන්න ඕන කියලා.පිරිමින් කියන එක බොරුවක්. එහෙමනම් මමත් බොන්න එපෑය. අද මේ රැකියාවෙන් මම ශක්තිමත් යැයි ” ඇය පවසයි.
රටේ සමහර මාපියන් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීමට නොහැකිව තම දරුවන්ගේ ජීවිත පවා අහිමි කර තම ජීවිතයද අහිමි කර ගන්නා යුගයක මේ මිත්තණිය හා මිණිපිරිය සමාජයට ලබාදෙන්නේ ඉමහත් පණිවිඩයකි.
මෙවන් දිරිය කාන්තාවක් තව තවත් බිහි වේවායි යන්න අපගේ එකම අභිලාෂයයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.
