කිසියම් පිරිසක් විසින් මන්නාරම් දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් පැහැර ගැනීමේ උත්සාහයක් දරන බවට ලද තොරතුරක් මත ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශයේ පාසල් ඉදිරිපිට සහ මංමාවත් වෙතට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
පසුගියදා වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් විසින් පාසල් ළමුන් දෙදෙනෙකුට කිසියම් වූ ආහාර වර්ගයක් ලබා දී එම ළමුන් දෙදෙනා පැහැරගැනීමට උත්සාහ දරා තිබේ. එම අවස්ථාවේදී සිසුන් දෙදෙනා කෑ ගසා එම පිරිසෙන් බේරී ඇති අතර සිසුන්ගේ කෑ ගැසීමත් සමඟ ප්‍රදේශවාසීන්ට බිය වී වෑන් රථය පලා ගොස් තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම සිසුන් දෙදෙනාගේ දෙමව්පියන් විසින් මන්නාරම පොලිසියට සහ පාසලට දැනුම් දීමෙන් අනතුරුව පාසල් විදුහල්පතිවරුන් , මන්නාරම් පොලිසිය , මන්නාරම් දිසාපති කාර්‍යාලය , යුදහමුදාව , සිවිල් සංවිධාන වල නියෝජිතයන් එක්ව සාකච්ඡාවක් සිඳු කර පාසල් ළමුන් සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බව සඳහන්.
ඒ අනුව මන්නාරම් නගරයේ පිහිටි පාසල් ඉදිරිපිට සහ මාවත් සඳහා ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහ යුදහමුදාව යොදවා ඇති බව වාර්තා වේ.
එමෙන්ම පාසලට එන විට සහ ආපසු නිවස වෙත යන විට පයින් ගමන් කරන්නේ නම් තනිවම මාර්ගයේ ගමන් නොකර කණ්ඩායම් වශයෙන් ගමන් කරන ලෙසත් , නැතහොත් නිවසේ වැඩිහිටියෙකු සමඟ ගමන් කරන ලෙසත් පාසල් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එක්ව සිසුන් දැනුවත් කර තිබේ.
මෙසේ පැමිණෙන පිරිස කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් , සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයන් යුදහමුදාව සහ පොලිසිය එක්ව සිඳු කරන බවත් වාර්තා කරයි.
