කොට්ටේ රජමහා විහාරයේ වාර්ෂික ශ්‍රී දළදා පෙරහර වීථි සංචාරය කිරීම වෙනුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ඒ අවට මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
කෝට්ටේ රජමහා විහාරයේ වාර්ෂික ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය පෙරේදා(07) ආරම්භ වූ අතර, එය හෙට(10) දක්වා පවත්වනු ලබයි. ඒ අනුව අද (09) රාත්‍රී 7.30 සිට හෙට අලුයම 01.00 දක්වා පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
එම කාලය තුළ පෙරහර පිටකෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාහල්කඩින් දකුණට හැරී විහාරස්ථානය වටා ගමන් කර බෝධිය හන්දියට පැමිණ, එම හන්දියෙන් වමට හැරී රජමහා විහාර මාවත ඔස්සේ රජමහා විහාර හන්දියට පැමිණ එම හන්දියෙන් දකුණට හැරී, කොට්ටේ මාර්ගයෙන් පිටකෝට්ටේ හන්දිය දක්වා ගමන් කර පිටකෝට්ටේ හන්දියෙන් වමට හැරී, පාගොඩ මාර්ගයේ නුගේගොඩ දෙසට ගමන් කර නාග විහාරයේ පිටුපස ජල ටැංකිය පාර ඔස්සේ නැවත කෝට්ටේ මාර්ගයට පැමිණ, නැවතත් රජමහා විහාර හන්දියෙන් දකුණට හැරී බෝධිය හන්දිය ඔස්සේ රජමහා විහාරස්ථානය වෙත ගෙවැදීමට නියමිතව තිබේ.
මේ හේතුවෙන් මාර්ගයේ යම් රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් හැකි තාක් ලබා දී ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටින අතර එම විකල්ප මාර්ග පහතින් ,
- පරණ කෝට්ටාව පාර – ජුබිලි කණුව හන්දිය රථවාහන ගමනාගමනය සීමා කිරීම
පරණ කෝට්ටාව මාර්ගයේ පැමිණ පිටකෝට්ටේ හරහා ඇතුල්කෝට්ටේ දෙසට ගමන් කරන රථ වාහන ජුබිලි කණුව හන්දියෙන් වමට හැරි නිරෝමි හන්දියෙන් ද වමට හැරී නාවල වටරවුමෙන් දකුණට හැරී නාවල මාර්ගයෙන් වැලිකඩ දෙසට ගමන් කළ හැකිය.
- කෝට්ටේ මාර්ගයේ බංගලා හන්දිය රථවාහන ගමනාගමනය සීමා කිරීම
ඇතුල් කෝට්ටේ මාර්ගයේ පිටකෝට්ටේ හරහා මිරිහාන දෙසට පැමිණෙන රථවාහන බංගලා හන්දියෙන් වමට හැරී බැද්දගාන මාර්ගය ඔස්සේ බැද්දගාන හන්දියට පැමිණ තලවතුගොඩ මාර්ගය ඔස්සේ මාදිවෙල හන්දියට පැමිණ දකුණට හැරී මාදිවෙල මාර්ගය ඔස්සේ ඇඹුල්දෙණිය හන්දියට පැමිණ නැවත පරණ කොට්ටාව මාර්ගය ඔස්සේ මිරිහාන දෙසට ගමන් කළ හැකිය.
- පාගොඩ මාර්ගයේ පාගොඩ හරස් පාර හන්දිය රථවාහන ගමනාගමනය සීමා කිරීම
පාගොඩ මාර්ගය ඔස්සේ පිටකෝට්ටේ සහ ඇතුල් කෝට්ටේ දෙසට ගමන් කරන රථ වාහන පාගොඩ හරස් පාරෙන් දකුණට හැරී නියෝමි හන්දිය ඔස්සේ ජුබිලි කණුව හන්දියට පැමිණ ජුබිලි කණුව හන්දියෙන් දකුණට හැරී මිරිහාන වටරවුම ඔස්සේ පරණ කොට්ටාව මාර්ගයේ පැමිණ ඇඹුල්දෙණිය හන්දියෙන් වමට හැරී මාදිවෙල මාර්ගය ඔස්සේ මාදිවෙල හන්දියට පැමිණ එම ස්ථානයෙන් වමට හැරී තලවතුගොඩ මාර්ගයේ බැද්දගාන හන්දියට පැමිණ බැද්දගාන හන්දියෙන් දකුණට හැරී බංගලා හන්දිය ඔස්සේ ඇතුල් කෝට්ටේ දෙසට ගමන් කළ හැකිය.
- තලවතුගොඩ මාර්ගයේ බැද්දගාන හන්දිය රථවාහන ගමනාගමනය සීමා කිරීම
තලවතුගොඩ මාර්ගයේ පිටකෝට්ටේ දෙසට පැමිණෙන රථවාහන බැද්දගාන හන්දියෙන් දකුණට හැරී බැද්දගාන මාර්ගය ඔස්සේ බංගලා හන්දියට පැමිණ බංගලා හන්දියෙන් දකුණට හැරී ඇතුල් කෝට්ටේ මාර්ගයට පිවිස වැලිකඩ දෙසට ගමන් කළ හැකිය.
