දැඩි ලෙස අබලන් තත්ත්වයේ පැවති හැටන් ප්‍රධාන බස් නැවතුම්පොළ භුමිය නවිකරණය කිරීමට හැටන් දික්ඔය නගර සභාව විසින් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රධාන බස් නැවතුම්පොළ භූමිය වසර කිහිපයක් තිස්සේ දැඩි ලෙස අබලන් තත්ත්වයේ පැවතීමත් සමග බස් මගීන් පාසල් සිසුන් මෙන්ම බස් රථ රියදුරන් කොන්දොස්තරවරුන් ඇතුළු පිරිස් දැඩි දුෂ්කරතාවයන්ට පත් වී තිබේ.
වැසි දිනවලදි මෙම බස් නැවතුම්පොළ භුමියේ වැසි ජලය පිරීමත් සමග බස් රථ ධාවනයේ සමහර අවස්ථාවලදි එම වැසි ජලය බස් මගීන් ඇතුළු පාසල් සිසුන්ගේ ඇගට විසිවීමෙන් විවිධ බහින් බස් වීම්ද ඇතිවු අතර මෙම තත්ත්වයන් පිළිබඳව අවස්ථා ගණනාවකදීම මාධ්‍ය මගින් හෙළි කල ද මෙම බස් නැවතුම්පොළ භුමිය නවිකරණය කිරීම දිගින් දිගටම කල් යවන ලදි.
මෙවන් වාතාවරණයක් මත අඹගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදි මෙම ප්‍රශ්නය නැවත ඉස්මතු වීමත් සමග අඹගමුව ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී එම්. රමෙස්වරන් මහතා විසින් මෙම බස් නැවතුම්පොළ භූමිය කඩිනමින් නවිකරණය කිරිමට උපදෙස් ලබා දිමත් සමග හැටන් දික්ඔය නගර සභාව මගින් මෙම බස් නැවතුම්පොළ භූමිය නවිකරණය කිරිමට පියවර ගෙන ඇති බව සදහන්.
මෙම තත්ත්වයන් පිළිබඳව සිදු කරන ලද විමසීමකදි අදහස් දැක්වූ හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ අඹගමුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලීමේන්තු මන්ත්‍රී එම්. රමෙස්වරන් මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ අනුමැතිය මත රුපියල් ලක්ෂ 34ක මුදලක් වැය කරමින් මෙම බස් නැවතුම්පොළ භූමිය නවිකරණය කිරීමට පියවර ගන්නා බවයි.
