සේවයට වාර්තා නොකරන රියදුරන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් .

වැඩ වර්ජනයේ නිරත දුම්රිය රියදුරන්ට වහාම සේවයට වාර්තා කරන ලෙස අද (13) දිනයේ දැනුම් දීමක් සිදු කරන බවත් , එම දැනුම් දීම නොතකා සේවයට වාර්තා නොකරන රියදුරන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නා බවත්
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ .

උසස් වීම් සම්බන්ධ ගැටලුවක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් විසින් මෙලෙස ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු වලට දැඩි ලෙස බාධා එල්ල වී තිබේ .

එම වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (12) දිනයේ පමණක් දුම්රිය ගමන් වාර 119 ක් අවලංගු වී තිබූ අතර ඊයේ (12) රාත්‍රීයේ දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී .

යම් සේවාවක් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසු සේවයට වාර්තා නොකරන සේවකයින්ගේ රැකියාව පමණක් නොව ඔවුන්ගේ දේපළ පවා රාජසන්තක වීමේ හැකියාව පවතින බව ජනාධිපති නීතිඥ යූ. ආර් . ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය රියදුරන්ගේ සංගමය මේ වන තෙක් වර්ජන ක්‍රියාමාර්ගය අත්හැර නොමැති බවත් , මෙම තත්ත්වය තළ අද (13) දිනයේ දුම්රිය ගමන්වාර 150ක් පමණ වලංගු වීමේ අවදානමක් පවතින බවත් ය.

ඒ අනුව අද (13) දිනයේ දිනයේ පෙරවරුවේ පමණක් කෙටි දුම්රිය ගමන්වාර 37 ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බවත් , සේවයේ යෙදී සිටින දුම්රිය කාර්ය මණ්ඩලවල හා දේපල වල ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරවරයාගේ ඉල්ලීම මත දුම්රිය ස්ථාන 32 ක් සඳහා පොලිස් හා යුද හමුදා ආරක්ෂාව යොදවා ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළගේ මහතා සඳහන් කර තිබේ .

නමුත් එන්ජින් රියදුරන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරන්නේද නැද්ද යන්න පිළිබඳව අද (13) දහවල් විධායක කමිටුව රැස්වී තීරණය කරන බවයි.

Exit mobile version