ඕමානයේ ගෘහසේවිකාවක ලෙස සේවයට ගිය ආණමඩුව කුමාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක කාන්තාවක් සියදිවි නසා ගත් බව පවසමින් ඇගේ දේහය මෙරටට එවා ඇති පුවතක් වාර්තා වේ.
39 හැවිරිදි ජේ.ඒ. ශිරෝමි ප්‍රදීප් ජයකොඩි නැමති එම කාන්තාව ඕමානයේ පස් මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගත් බවට වාර්තා වුණත් එවැන්නක් සිදුකර ගැනීමට ඇයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවට ඥාතීහු පවසති.
මෙසේ අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා ය.
ඇය සිය දෙමාපියන් ජීවත් කරලීම සඳහා විදෙස් රටවල රැකියාවල නිරතව ඇති බව වාර්තා වේ.
මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් පවසා සිටියේ, ව්‍යාජ ඒජන්සියක් පවත්වාගෙන යනු ලබන නිකවැරටිය, කොටහෙර ප්‍රදේශයේ පුද්ගලයෙකු හා හලාවත පදිංචිකරුවෙකු හරහා සංචාරක වීසා ලබාදෙමින් වංචනික අයුරින් ඇයව මෙසේ රැගෙන ගොස් ඇති බවයි.
මෙම කාන්තාව වසර 18ක කාලයක් කුවේට්, සවුදි ඇතුළු රටවල් රැසක ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් එම රටවලදී කිසිදු හිරිහැරයකට ලක්නොවී ඉතාමත් හොඳින් සේවය කර ලංකාවට පැමිණි අයෙක් බවට වාර්තා වේ.
ඇය පසුගිය කොරෝනා සමයේ ලංකාවට පැමිණ ඉන් පසුව මෙම වසරේ ජූලි 20 වන දින නැවත ඕමානයේ රැකියාවට ගොස් සිටින අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබේ.
ඇය ඕමානයේ සේවය කරන නිවසේ සිට දුරකථන ඇමතුමක් ලබාදී තමා හොඳින් සිටින බව පැවසු බවත් කියා සිටි ඥාතීන් වැඩිදුරටත් පවසා සිටියේ ඉන් අනතුරුව ඇය පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබුණ බවයි.
ඇය පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පවුලේ අය විසින් පැමිණිලි කර ඇති අතර, ඇය සංචාරක වීසා මත නීතිවිරෝධීව ගොස් ඇති බැවින් ඒ පිළිබඳව තොරතුරු ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවද එම කාර්යාංශය දැනුම්දී තිබේ.
මියගිය කාන්තාවගේ වැඩිමහල් සොහොයුරා මෙලෙස පවසා තිබේ.
“මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණදිලා තියෙන්නේ මගේ සොහොයුරිය. එයා ඕමාන් යවන්න කටයුතු කළේ, කොටවෙහෙර ඉන්න කෙනෙක්. මේ මිනිහා තනිකරම කරලා තියෙන්නේ මෙහෙ ඉන්න අයව සංචාරක වීසාවලින් ඕමාන් අරන් යන එක. ඒ අරන් ගිහින් ගෙවල්වලට විකුණනවා කියලා දැන ගත්තේ නංගිගේ සිද්ධියෙන් පස්සේ. එහෙම අරන් යන අයට වද දීලා ගෙවල්වලට දානවා. සමහර ගෙවල්වලින් හොඳට සලකනවලු. නමුත් මාස හයෙන් හයට අපේ මිනිස්සු ගෙයින් ගෙයට විකුණ විකුණ මුන් සල්ලි හොයන ජාවාරමක් තමා කරලා තියෙන්නේ. අපේ නංගී අසරණ වෙලා පුදුම කරදර වෙලා. නමුත් එයාට කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ ගොඩනැගිල්ලකින් පැනලා මැරෙන්න…”
