මහ බැංකුව ජාත්‍යන්තර බලවතුන්ගේ අල්ලේ නැටවෙන බිංකුන්ඩෙක් කරන්න හැදුවා – අපි ඒක නැති කළා – අවංකවම සතුටුයි – උදය ගම්මන්පිල කියයි.

මහ බැංකුව සහ රජය අතර තියන අත්‍යවශ්‍ය බැඳීම නැති කර, ජාත්‍යන්තර බලවතුන් ගේ අල්ලේ නැටවෙන බිංකුන්ඩෙක් බවට පත්කරීමට දැරූ උත්සාහය පරාජය කිරීමට හැකිවීම ගැන අවංකවම සතුටු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය විසින් අත්සන් කළ ගිවිසුම අනුව මෙම වසරේ ජූනි මස 30 වනදා වන විට එම ගිවිසුමේ කොන්දේසි 55ක් ආණ්ඩුව විසින් ඉටු කළ යුතු වුවත් මේ වන තෙක් ඉටු කර ඇත්තේ කොන්දේසි 32ක් පමණක් බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ .

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ නව මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක් වෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ,

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය අත්සන් කළ ගිවිසුම අනුව නම් මේ පනත පාර්ලිමේන්තුවට එන්න ඕනේ අප්‍රියල් මාසයේ 30 වන දා වන විට. ජුනි මාසයේ 30 වනදා වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි 55ක් ඉටුකල යුතු වුවත් ඉටු කළ බවට තොරතුරු ඇත්තේ 32 ක් පමණයි. 23ක් කරගන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා තමයි තමන්ට අවශ්‍ය පනත නොවුනත් මේ ලැබුණු පනත කොහොම හරි මෙතෙන්ට ගෙනල්ලා සම්මත කරගෙන අපි ගිවිසුම ඉටුකලා කියන තත්ත්වයට එන්න ආණ්ඩුව උත්සාහ දරන්නේ.මහබැංකුවේ නිලධාරීන් අයිඑම්එෆ් සමග එකතු වෙලා කෙටුම් පත්කළේ මහා භයානක පනතක්. පාර්ලිමේන්තුවෙන්, විධායකයෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන වූ මහ බැංකුවක් ඇති කරන්න තමයි එයාලා උත්සාහ කළේ. විධායකයට සහ ව්‍යවස්ථාදායකයට මහ බැංකුවට මැදිහත් වීමට ඇති අයිතිය සම්පුර්ණයෙන්ම උදුරා ගන්නයි උත්සාහ කළේ. ජාතියේ අපේක්ෂාව ඉටු කරන්න මහ බැංකුව කටයුතු කරනවා නම් මහජන නියෝජිතයන්ගෙන් සම්පූර්ණයෙන් ස්වාධීන වීමට මහ බැංකුවට ඇති උවමනාව කුමක්ද ?ගරු අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, විමල් වීරවංශ මන්ත්‍රීතුමා සහ මම ඇතුළු පිරිසක් අධිකරණය ඉදිරියේ මෙය අභියෝගයට ලක්කලා. ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මැතිතුමා ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන් කරුණු දැක්වුවා. අවසානයේ දී ආණ්ඩුවෙන් ගෙන ආ පනතට සංශෝධන 82 ක් ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ 15 වන පිටුවේ කියනවා මහබැංකුව ස්වාධීන කරනවා කියන එක සමස්ත ව්‍යවස්ථාවේ ආකෘතියටම විරුද්ධයි කියන එකයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.මහජන නියෝජිතයන්ගේ සුපරික්ෂාවෙන් මිදිලා කටයුතු කිරීම සඳහා මහ බැංකුවට ඉඩ දීමට මහ බැංකුවේ කෙරුවාව කොහොමද ? ඉතිහාසයේ ලොකුම වංචාව බැඳුම්කර වංචාව කරලා රටින් පැනලා ගියේ මහ බැංකු අධිපති කෙනෙක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එතරම් දැවැන්ත වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබලා නැහැ. රටින් අතුරුදන් වෙලත් නැහැ. මෙවර උත්සාහ දැරුවේ මහ බැංකුව සහ රජය අතර තියන අත්‍යවශ්‍ය බැඳීම නැති කරලා ජාත්‍යන්තර බලවතුන් ගේ අල්ලේ නැටවෙන බිංකුන්ඩෙක් බවට පත්කරලා තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුන්ඩෝ බොල බිංකුන්ඩෝ කියන තත්වයට පත්කරන්නයි. එම උත්සාහය පරාජය කිරීමට අපට හැකි වීම ගැන අප අවංකවම සතුටු වෙනවා.ආණ්ඩුවට මහබැංකුවට බලපෑම් කිරීමට තිබෙන්නාවූ අයිතිය අයුතු ලෙස යොදා ගන්නවා කියන එක තමයි චෝදනාවක් විදිහට එල්ල වුණේ. මොකක්ද මේ අයුතු ලෙස යොදා ගන්නවා කියන්නේ. මුදල් අච්චුගැසීම පාලනයකින් තොරව සීමාවකින් තොරව සිදු කළාය කියන චෝදනාව. ‍ප්‍රශ්නය ඒක නම් අපට පුළුවන් ආණ්ඩුව මහ බැංකුවෙන් ලබා ගන්නා ණය ප්‍රමාණය ජාතික ආදායමෙන් 10% ඉක්ම නොවිය යුතුයි වගේ වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම දාන්න. ආණ්ඩුව විපක්ෂය දෙකම එකතු වෙලා පමණයි එම වගන්තිය නැවත වරක් සංශෝධනය කළ හැක්කේ.අතීත මහ බැංකුවේ විතරක් නෙමේ වර්තමාන මහ බැංකුවේ කෙරුවාවත් අතිශයින්ම බරපතලයි. සාමාන්‍ය ජනතාවගේ අර්ථසාධක අරමුදල කළමනාකරණය කරන මහ බැංකුව ජනතාවට ලබා දුන්නේ 9% ප්‍රථිලාභයක්. ඒ මහ බැංකුවම මහ බැංකු නිලධාරීන්ට වෙනම අර්ථසාධක අරමුදල තියාගෙන ඉන්නවා. එකේ ප්‍රතිලාභය 29%යි. තමන්ට ලොකු හැන්දෙන් අහිංසක ජනතාවට පොඩි හැන්දෙන්. මහ බැංකු අධිපතිවරයාගෙන් අප ප්‍රශ්න කලා මේ අරමුදල් දෙකම එක අරමුදලක් බවට පත් කරන්න බැරි ඇයි කියලා. ඔහු ඊට උත්තර දුන්නේ නැහැ. මෙවැනි වගකීම් විරහිත විදිහට හැසිරෙන මහ බැංකුව මහජන නියෝජිතයින්ගේ අධීක්ෂණය යටතේ තබාගත යුතුමයි කියන එක මම අවධාරණය කරනවා.”

Exit mobile version