මැතිවරණය කොමිසම ස්වාධීන කොමිෂන් සභාවක් වුවත් එහි වගකිවයුත්තන් ඉරෙන් හඳෙන් ආ මිනිසුන් ලෙස නොසිතා මහ පොළොවේ යථාර්ථය තේරුම් ගෙන කටයුතු කළා අද වන විට පත්ව ඇති තත්ත්වයට රට ඇඳ නොවැටෙන බව මහනුවර මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති ඉලාහි ආබ්දීන් මහතා පැවැසීය .
මැතිවරණය පැවැත්වීම කොමිසමට පමණක් තනියම කළ නොහැකි බව දැන දැන රටේ පාලකයින් හා සාකච්ඡා නොකර අනෙකුත් අංශ ගැන සැලකිල්ලක් නොදක්වා ගත් තීන්දු හේතුවෙන් මේ වන විට මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසම කෙරෙහි තිබූ රටේ විශ්වාසය මුලුමනින්ම පළුදු වී ඇති බවද ඒ මහතා පැවැසීය .
KANDY PRIME NEWS වෙත අද 23 පෙරවරුවේ මහනුවර දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ කරණු ප්‍රකාශ කළේය .
වැඩිදුරටත් අදහස් දක්වමින් ඉලාහි ආබ්දීන් මහතා මෙසේද පැවැසීය .
“කොමිෂන් සභා ස්වාධීනයි. ඒක ගැටලුවක් නැහැ .නමුත් ඒ අයට තීරණයක් ගන්න කලින් වර්තමානයේ රටේ පවතින තත්ත්වය තේරුම් ගැනීමට තිබුණා.ජනාධිපති වරයා අගමැති වරයා ඇතුළු රටේ පාලකයින් ,පාර්ලිමේන්තුව සමඟ සාකච්ඡා කරන්න තිබුණා.පාලකයින් සමඟ සාකච්ඡා කිරීම ඒ අයට මදි පුංචි කමක් නොවෙයි.මක් නිසාද ඒ අයව පත් කරන්නෙත් ව්‍යවස්ථාදායක සභාව නිසා.එතෙන ඉන්නෙ මහජන නියෝජිතයන් .
මැතිවරණය කොමිසමට මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න තිබුණා. ඒ අය මහ පොළොවේ යථාර්ථය තේරුම් නොගත් නිසා රට ලොකුම ප්‍රශ්නයකට ඇද දැමුවා.කිසිම දෙයක් තනියම කරන්න බැරි බව කොමිසම තේරුම් ගත්තේ නැහැ .”
පවතින තත්ත්වය එසේ වුවද සමගි ජනබලවේගය , ජාතික ජනබලවේගය හා අනෙකුත් දේශපාලන පක්ෂ පළාත් පාලන මැතිවරණය ඉල්ලා රටේ මේ තරම් කලබැගෑනියක් සිදු කරමින් සිටීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉලාහි ආබ්දීන් මහතා පැවැසුවේ සිදු වන දේ පිළිබඳව හොදින් දැන දැන එම දේශපාලන පක්ෂ තම සාමාජිකයින් රැක ගැනීම සදහා ජනතාව මුලා කරමින් සිටින බවයි.
(සරත් සමරනායක)
