ලංකාවේ පළමුවන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වන උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටවනු ලැබුවේ 1980 වසරේදීය. 1989 වසරේදී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ජීවිත පරිත්‍යාගයෙන් කරන ලද ශිෂ්‍ය අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ජනසතු කොට එය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම රජයේ වෛද්‍ය විද්‍යාලය බවට පත් කරන ලදී. එතැන් සිට වර්තමානය වන තෙක්ම වරින් වර මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කරළියට පැමිණි නමුත් ප්‍රබල විරෝධතා හමුවේ ඒවා යථාර්ථයක් බවට පත් කරගන්නට හැකි වූයේ නැත.
නමුත් වර්තමානය වන විට මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නමැති මැච් එක ගසන්නට හිතකර පිච් එක සකස් වී ඇත. ප්‍රමිතිගත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට වෛද්‍යවරයෙකු ලෙස මාගේ කිසිඳු විරෝධයක් නැතත්, රටේ සියලු අංශයක්ම ගඳගසන දේශපාලනයෙන් කිලිටිව ඇති විටෙක ප්‍රමිතිගත වෛද්‍ය විද්‍යාල යනු විහිළුවක් පමණි.
උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රතිඵල BBB වලට ඉහලින් ලබන සිසුන් 2000 ක් පමණ වසරකට වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වෙද්දී එම ප්‍රතිඵලය BBB වලට වැඩි තවත් සිසුන් 1500 කට පමණ වෛද්‍ය විද්‍යාල පිවිසුම් අහිමි වන තත්ත්වයක් තුල වුවද අදටත් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුලත් විය හැකි අවම සුදුසුකම උසස් පෙළ CCS වේ. එනම් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ අරමුණ ලකුණකින් දෙකකින් රජයේ වෛද්‍ය විද්‍යාල වරම් අහිමි වන සිසුන්ට අවස්ථාවක් ලබා දීම නොව ඊට බොහෝ අඩු ප්‍රතිඵල ලබා ගත් සිසුන්ට මුදල් බලයෙන් වෛද්‍ය උපාධිය ලබා දීම බව හොඳින්ම පැහැදිලිය.
ජීවිතයේ දහසකුත් කැපකිරීම් මතින් වෛද්‍යවරයකු වී ලබාගත් යහපත් ජීවන තත්ත්වය කෙරෙහි කොහොමටත් සමාජයේ බහුතරයකගේ ඇත්තේ ඇරියස් එකකි. වෛද්‍යවරුන් පැට්‍රල් පෝලිම් වල වරු ගනං තපින විට, වෛද්‍යවරුන්ට රිදෙන්නට බදු ගසන විට, ගත් ණය ගෙවා ගන්නට බැරුව රට අතහැර විදෙස් රැකියාවලට යන විට සමහරුනට හීනියට සතුටක් දැනෙන්නේ ඒ ඇරියස් එක නිසාය. වෛද්‍යවරු එකා දෙන්නා රට අතහැර ගොස් එය මහා ඛේදවාචකයක් බවට පත් වෙමින් තමන්ගේ මව පියා රෝහලේ ප්‍රතිකාර නැතුව මිය ගිය ද වෛද්‍යවරුන්ට කෙලවෙන විට හදවතට දැනෙන සියුම් සතුට තවමත් එසේමය. මෙම වෛද්‍ය හිඟය ඉදිරියට දමාගෙන වෛද්‍යවරුන් කෙරෙහි ජනතාවගේ ඇති ඇරියස් එක ද මනාව කළමනාකරණය කොටගෙන මේ වන විට රජය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කිරීම සඳහා සුදුසු පරිසරය සකස් කොට ගෙන ඇත.
තම රැකියාව ගැන ද රට ගැන ද රටේ දේශපාලකයින් සහ ජනතාව ගැන ද අන්තයට කලකිරී ඇති වෛද්‍යවරුන්ගෙන් මේ මොහොතේ ප්‍රබල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධයක් බලාපොරොත්තු විය නොහැක. රජයේ වෛද්‍යවරුන් මෙතෙක් නිසි නියාමනයක් නොමැති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරෝධය පළ කලේ ලංකාවේ සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය රැක ගැනීමේ අරමුණින් බව ජනතාවට නොවැටහීම සැබැවින් ම අවාසනාවකි.
සැබැවින්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කිරීම තුළින් වර්තමාන වෛද්‍ය හිඟයට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීමට පිළියමක් ලැබේද? කිසිසේත්ම නැත.
ඉදිරියේ දී පිහිටුවන්නට සැලසුම් කොට ඇති ඌව වෙල්ලස්ස වෛද්‍ය විද්‍යාලයද සමඟින් මේ වන විට ලංකාවේ ඇති රජයේ වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාව 12කි. මේ වෛද්‍ය විද්‍යාල දොළහෙන් වසරකට බිහි කරන්නට බලාපොරොත්තු වන වෛද්‍ය සංඛ්‍යාව 2000 කට ආසන්නය. එය රටේ වෛද්‍ය සේවය පවත්වාගැනීමට ප්‍රමාණවත්ය. වර්තමානයේ සිදු විය යුත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම නොව මෙම වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමය.
මෙම වෛද්‍ය විද්‍යාල වලට අවශ්‍ය ආචාර්ය මහාචාර්යවරුන්ගේ ප්‍රමාණය 1800 ක් පමණ වන නමුත් මේ වන විට සිටින්නේ 600 ක් පමණි. රජයේ වෛද්‍ය විද්‍යාල පණ අදිමින් තිබියදී අලුතෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ අවශ්‍යතාවය කුමක්ද? දැනට අවම වැටුපකට සේවය කරන මෙම ආචාර්ය මණ්ඩලය ද වාණිජ අරමුණු වලින් ක්‍රියාත්මක වන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල ආකර්ෂණීය වැටුප් සහ වරප්‍රසාද හමුවේ රජයේ වෛද්‍ය විද්‍යාල අතහැර යනු ඇත. රටේ දක්ෂතම සිසුන් තෝරාගෙන දක්ෂතම විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් බිහිකරන රජයේ වෛද්‍ය විද්‍යාල විනාශයට පත්වනු ඇත. ඒ වෙනුවට උසස්පෙළ CCS ඇති සිසුන් වෛද්‍යවරුන් වනු ඇත. පෞද්ගලිකව විශාල මුදලක් ආයෝජනය කර ඇති නිසා ඔවුන් ද වැඩි වැටුප් උදෙසා රට හැර යනු ඇත. අධ්‍යාපනය ලැබීමේ අයිතිය ගැන කතා කරන සමහරු මේ මොහොතේ ප්‍රමිතිගත සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට ජනතාවගේ ඇති අයිතිය ගැන කතා නොකරන්නේ මන්ද?
පෞද්ගලිකව සැලකිය යුතු මුදලක් වැය නොකොට නිදහස් අධ්‍යාපනයෙන් නොමිලේ අධ්‍යාපනය ලබාගත් රජයේ වෛද්‍යවරුන් පවා තුට්ටු දෙකේ වැටුපකින් ජීවත් වන්නට නොහැකිව රට හැර යන මොහොතක, මිලියන 10 ක් පමණ පෞද්ගලික මුදල් වැයකොට වෛද්‍ය වරයකු බවට පත්වූ පසු යම් අයකු ඒ තුට්ටු දෙකේ වැටුපට ජනතාව වෙනුවෙන් රජයේ සේවයේ නිරත වේයැයි සිතීම මොන විහිළුවක්ද? එයින් සිදු වන්නේ රජයේ වෛද්‍ය විද්‍යාල සියල්ල ද කඩා වැටී රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ ඛේදවාචකයකට පත් වීම නොවේද?
ආර්ථික වශයෙන් බංකොලොත් වී, දේශපාලනික වශයෙන් අන්ත දූෂිත තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්වී ඇති මෙවැනි මොහොතක ප්‍රමිතිගත වෛද්‍ය විද්‍යාල බිහිවේ යැයි ඔබ සිතන්නේ නම් එය රටේ අවාසනාවකි. එහෙයින් අතීතයේ අන් කවරදාකටත් වඩා රටේ මහජනතාව ලෙස ඔබත් වෛද්‍යවරුන් ලෙස අපත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට තරයේ විරුද්ධ විය යුතු කාලයකි මේ. ගැඹුර නොදැන අපැහැදිලි වතුරකට පනින්නට තරම් කිසිවිටකත් ඉක්මන් වන්න එපා.
(උපුටා ගැනීම වෛද්‍ය දර්ශන ප්‍රේමරත්න නැමැති මුහුණු පොතෙනි.)
